කුඩු ජාවාරම්කරු අල්ලන්න ‘දිවි පරදුවට තබා’ උත්සාහයක්  –  පොලිසියට  වෙට්ටු දමා පැන ගියේ මෙලෙසයි

කුඩු ජාවාරම්කරු අල්ලන්න ‘දිවි පරදුවට තබා’ උත්සාහයක් – පොලිසියට වෙට්ටු දමා පැන ගියේ මෙලෙසයි

රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී ඔහු අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ සිදුවීම පිළිබඳව අද (21) ජාතික පුවත්පත් වැඩිදුර තොරතුරු වාර්තා කර තිබෙනවා.

සැරයන්වරයා ද රැගෙන මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය වෙට්ටුවක් දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පළා ගොස් ඇති අතර පොලිස් අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි තීරෝද රථ රියැදුරු ද එම කලබලයසමග පලා ගොස් ඇතැයි ඊයේ (20) වාර්තා වුණා.

මෙම අවස්ථාවේදී වැටලීමට ගිය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබී ඇතත් ඔහු එම ගිනි අවිය පරිහරණය කර නැතැයි පොලිස් උසස් නිලධාරියෙක් සඳහන් කළ බවද පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෝටර් රථයෙන් බිමට වැටීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට සහ පාද වලට බරපතළ තුවාල සිදු වීම නිසා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් වී ඇති අතර සැරයන්වරයාගේ හිසට මැහුම් ද දමා ඇති බව වාර්තා වනවා.

වැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇති අතර නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයේ පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෝටර් රථය වට කිරීමත් සමඟම ඔහු මෝටර් රථයේ දොරවල් අගුළු ලාගෙන ඇති අතර මෝටර් රථයේ සිටි පුද්ගලයා එය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වීමත් සමගම වැටලීමට ගිය සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත පැන ධාවනය වීම වැළැක්වීමට උත්සාහ කර තිබුණා.

නොනවත්වා කිලෝමීටරයක් පමණ මෝටර් රථය ධාවනය කර වරින්වර මෝටර් රථයේ තිරිංග තද කරන ගමන් වෙට්ටු දමා සැරයන්වරයා බිමට වැටීමට සලස්වා ඇතැයි සඳහන්.

සැරයන්වරයා බිමට වැටීමෙන් පසුව ජාවාරම්කරු  වේගයෙන් මෝටර් රථය පදවා පලාගොස් තිබෙනවා.

Share This