කුරුළු උණ ගැන අවධානයෙන් ඉන්න – ලෝක සංවිධානයෙන් දැනුම්දීමක්

කුරුළු උණ ගැන අවධානයෙන් ඉන්න – ලෝක සංවිධානයෙන් දැනුම්දීමක්

ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබෙනවා.

පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වනවා.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කිහිපයක් ඇති බව සඳහන්.

මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය අසාදනය වූ දෙවැනි රෝගියාද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැහැ.

වත්මන් තත්වය මත ශ්‍රී ලංකාවට H 5, H 7 සහ H 9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවත් කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වලට සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කර තිබෙනවා.

මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභ වුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වාර්තා වනවා.

රෝගය ආසාදනයවීම වළක්වා ගැනීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This