කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත් අඩංගුවට ගන්න ඔත්තුව පාතාලය ඇතුලෙන්ම දීලා

කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත් අඩංගුවට ගන්න ඔත්තුව පාතාලය ඇතුලෙන්ම දීලා

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරු බව කියන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළා.

එම වාර්තාව ලද පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැලේසියාවට පිටත්කර යැවීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායි රාජ්‍යයේ සිට මැලේසියාවට පළාගොස් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් බව කියන මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සහ කොමාන්ඩෝ සලින්ත නමැත්තා එරට පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බව ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයෙක් ලබාදුන් තොරතුරක් මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එවැනි තොරතුරක් ලැබී නොමැති බවත් මේ සම්බන්ධයෙන් මැලේසියානු රජයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.

එම වාර්තාව ලද පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් මැලේසියාවට පිටත්කර යැවීමටද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගනේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් මෙන්ම ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා සිව් වතාවක් ඝාතනය කිරීමට තැත් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ද නිකුත් කර තිබුණා.

එවැනි පසුබිමක් මධ්‍යයේ ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ යන අයද තවමත් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් ලැබී නැහැ.

ඇය විදෙස් රටකට පැනගිය බවට මාධ්‍ය වාර්තා කර තිබුණද මෙතෙක් ඇය අත්අඩංගුවට ගැනීමට වන විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

Share This