කොවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙන ප්‍රධාන රෝහල්
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක වාට්ටු, කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා
මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා
මෙම රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඔක්සිජන් අවශ්‍යතා සහිත අය බව වෛද්‍යවරු පවසනවා
මේ වන විට එම රෝහල්වල කොවිඩ් රෝගීන් සඳහා අමතර වාට්ටු කිහිපයක් ද සකස් කරමින් පවතින බවයි සඳහන් වන්නේ .
එසේම, වෛද්‍යවරු, හෙද හෙදියන් ඇතුළු මෙම රෝහල්වල කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද කොවිඩ් රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටින බවද එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා
කොළඹ ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 700කට ආසන්න සංඛ්‍යාවක් ද, ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහලේ) රෝගීන් 240ක්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් 222ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) රෝගීන් 300ක්, වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික විද්‍යායතනයේ රෝගීන් 182ක් වශයෙන් මේ වන විට රෝහල්වලින් වාර්තා වී තිබූ බව එහි අධ්යක්ෂවරු සඳහන් කරන බවයි එම පුවත්පතේ සඳහන් කරන්නේ.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 350 දෙනකු පමණ මේ වන විට කොරෝනා ආසාදිතව ඇති බවයි එහි ප්‍රකාශකයෙක් පවසන්නේ
එහි දැඩි සත්කාර ඒකක 24ක් පවතින අතර ඒවායේ කොරෝනා රෝගීන් 30 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් මේ වන විට දැඩි සත්කාර සියල්ලම පිරී ගොස් ඇති බවත් එම ප්‍රකාශකයා පවසා තිබෙන්නේ
කොළඹ ජාතික රෝහලෙන් දෛනිකව දළ වශයෙන් කොරෝනා රෝගීන් 10ත් 15ත් අතර සංඛ්‍යාවක් මරණයට පත්වන බව ද සඳහන්
ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහලේ) දැඩි සත්කාර ඒකක 2ක රෝගීන් අට දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර, එහි දෛනික මරණ සංඛ්‍යාව දළ වශයෙන් මරණ දෙකක් හෝ තුනක් පමණක් වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා
මෙම රෝහලේ මෝචරියේ අධි ශීතකරණ 08ක් පවතින අතර දෛනිකව සිදුවන මරණ එදිනෙදා ආදාහනය සදහා යොමුකිරිම සිදුකරන බැවින් මෘත ශරීර ගොඩගැසීමක් සිදු නොවන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) වෛද්‍යවරුන් 10 දෙනකු, හෙද හෙදියන් 10 දෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 130 දෙනකු මේ වන විට කොරා්නා ආසාදිතව ඇතැයි එම රොහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා .
මේ වන විට කොවිඩ් රෝගීන් 300 දෙනකු පමණ ප්‍රතිකාර ලබන එම රෝහලේ දැඩි සත්කාර සියල්ල රෝගීන්ගෙන් පිරී ඇති බවත්, දෛනික කොවිඩ් මරණ 16ත් 20ත් අතර ප්‍රමාණයක් දළ වශයෙන් වාර්තාවන බවත් නියෝජ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කරනවා .
රෝහලේ මෝචරියේ ශීතකරණ 37ක් පවතින අතර, ඉන් 07ක් මේ වන විට අක්‍රිය මට්ටමේ පවතින බව සඳහන් කළ නියෝජ්‍ය අධ්යක්ෂවරයා, දෛනිකව මියයන රෝගීන් මෝචරියේ ශීතාගාරයේ තැන්පත් කර ආදාහනාගාරවල ඉඩ ලැබෙන පරිදි ඒවා ආදාහනය කිරීම සිදුකරන බවයි පවසන්නේ
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 09 දෙනකු හෙද හෙදියන් 46 දෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 114 දෙනකු ඉකුත් 01 වැනිදා සිට ඊයේ (25) දින දක්වා වන කාලය තුළදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතා පවසනවා
ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත බවට හදුනාගත් කාර්ය මණ්ඩලයේ මුළු සංඛ්‍යාව 224ක් වන බවද අධ්යක්ෂවරයා සදහන් කර තිබෙනවා .
රෝහලේ වාට්ටු 04ක කොරෝනා රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිකාර ලබන අතර, එක් වාට්ටුවක කොරෝනා ආසාදිත ළමුන් 28 දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඇඳවල් පහකින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ද රෝහල සතුව බවතින බවත් අධ්යක්ෂවරයා පවසනවා
කොරෝනා මරණ 12ක් වාර්තා වූ බවත් දෛනිකව සිදුවන මරණ වෙනස් අගයන් ගන්නා බව ද අධ්යක්ෂවරයා සඳහන් කරනවා .
මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන්ගේ සමස්ත වැඩිවීමක් දෛනිකව වාර්තාවන බැවින් ළමා වාට්ටුවක් ද සහිත රෝගීන් 150 දෙනකුට ප්‍රතිකාර ලබාදිය හැකි අලුත් වාට්ටු 05ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (26) පිහිටුවනු ලබන බව ද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පුවත්පතට සඳහන් කර සිටිනවා
ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකු, හෙද හෙදියන් සිව් දෙනකු සහ පරිපූරක අතුරු වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 25 දෙනකු ඊයේ (25) වන විට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර සඳහා යොමුවී ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පවසා තිබෙනවා
මේ වන විට රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 181 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇඳන් 07කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, ඇදන් 40කින් සමන්විත අධි සත්කාර ඒකක 02ක්, ඇඳන් 80ක් සහිත ඔක්සිජන් කොවිඩ් වාට්ටු 03ක්, ඇඳන් 16ක් සහිත ගැබිණී මව්වරුන් සදහා වාට්ටුවක් ද රෝහල සතුව පවතින බව ද අධ්යක්ෂවරයා පවසනවා
රෝහලේ ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර, දෛනිකව රෝගීන් වාර්තාවීමද සිදුවන බැවින් අමතර ඇඳන් 50ක් සහිත “ලෙවල් ටූ” වාට්ටුවක් පිහිටුවීමට මේ දිනවල කටයුතු යොදමින් පවතින බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරනවා
ඒ අනුව, රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන යක්කල වැරල්ලවත්ත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් 50ක් ලබා ගනිමින් මෙම නව වාට්ටුව නිර්මාණය කිරීමට සූදානම් කර ඇතැයි ද අධ්යක්ෂවරයා පවසනවා
කොවිඩ් මරණ දෛනිකව දළ වශයෙන් 10ත් 15ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසනවා
එමෙන්ම වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ කොරෝනා රෝගීන් 182 දෙදෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර, එහි කාර්යය මණ්ඩලයේ වෛද්‍යවරු සිව් දෙනකු සහ හෙද හෙදියන් 10 දෙනකු ඇතුලු 50 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඩී. එල්. වනිගරත්න මහතා සඳහන් කරනවා
එම රෝහලේ දැඩි සත්කාර ඒකකයක් අධි සත්කාර ඒකකයක් මෙන්ම කොවිඩි ආසාදිත ක්ෂය රෝගීන් සදහා වෙනම වාට්ටුවක් ද පිහිටුවා ඇතැයි සඳහන් කළ අධ්යක්ෂවරයා, කොවිඩි ආසාදිතව දිනකට රෝගීන් දෙදෙනෙකුවත් මිය යන බව ද පවසනවා .
දෛනික වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බැවින් අමතර වාට්ටු කිහිපයක් සකස් කිරීම සදහා පියවර ගනිමින් සිටින බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසනවා
මේ අතර රත්නපුර මහ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණඩලයේ 60 දෙනකු පමණ මේ වන විට කොවිඩ් ආසාදිතව ඇති බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඩ්රිගෝ මහතා සඳහන් කරනවා
මේ දිනවල රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙක් ඔක්සිජන් ප්‍රතිකාර අවශ්‍ය අය වන අතර ප්‍රධාන වාට්ටු හයක්, ළමා වාට්ටුවක් සහ මාතෘ වාට්ටුවක් සහිත වාට්ටු 08ක් කොරෝනා රෝගීන් සදහා වෙන්කර ඇතැයි ද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටිනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා