චීන ජනපති විදෙස් සංචාර කිහිපයකට එක් නොවේ

චීන ජනපති විදෙස් සංචාර කිහිපයකට එක් නොවේ

චීන ජනාධිපති ෂී ජින්පින් ජාත්‍යන්තර සමුළු කිහිපයකටම සහභාගී වී නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා .

චීන ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර මග හැරීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වුණේ ඔහු ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගී නොවන බව චීනය පැවසීමත් සමගයි.

ඒ සඳහා චීනය නියෝජනය කරමින් විදේශ අමාත්‍යවරයා සහභාගී වන බවයි වාර්තා වන්නේ.

එහෙත් චීන ජනාධිපතිවරයා G20 සමුළුවට සහභාගී වීමේ වැදගත්කම විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

ඉන් එක් හේතුවක් වන්නේ මෙවර ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබීමයි.

ඒ අතර අමෙරිකානු ජනාධිපතිවරයා ද වනවා.

ඒ අනුව බිඳ වැටී ඇති සබඳතා ගොඩනගා ගැනීමටත් පවතින සබඳතා වර්ධනය කර ගැනීමටත් මෙවර G20 සමුළුව චීනයට කදිම අවස්ථාවක් වුව ද චීන ජනාධිපතිවරයාට සිය ඉන්දීය සංචාරය පිළිබඳ උනන්දුවක් නොමැති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම G20 සමුළුවට සහභාගී වෙමින් ඉන්දියාවට පැමිණියේ නම් දේශ සීමා අර්බුදය සම්බන්ධයෙන් සුහදශීලී සාකච්ඡාවක් හරහා ඉන්දියාව සමග සාකච්ඡා කිරීමට ද චීන ජනාධිපතිවරයාට අවස්ථාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙ අතර ඉන්දුනීසියාවේ පැවැත්වෙන ASEAN සමුළුව ද චීන ජනාධිපතිවරයා විසින් මග හැර ඇති අතර ඒ සඳහා ද යොමු කර ඇත්තේ විදේශ අමාත්‍යවරයා යි.

මෙය චීනයේ දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක් ද යන්නයි විදෙස් මාධ්‍ය ප්‍රශ්ණ කර සිටින්නේ

 

Share This