
චීනයෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. ලක්ෂයක සහ තවත් යුවාන් මිලියන 10ක ආධාර
‘දිට්වා’ සුළි කුණාටුවෙහි බලපෑමත් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රදේශ රැසකින් වාර්තා වුණු දරුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදු වූ ජීවිත හා දේපළ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සිය සහයෝගය දක්වයි.
ඒ අනුව චීන රජය විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවට ප්රදානය කර ඇති අතර, තවත් චීන යුවාන් මිලියන 10ක් වටිනා සහන සැපයුම් ලබා දීමටත් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන රතු කුරුස සමාජය විසින් හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක මුදලක් මෙහිදී ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත මුදා හැර ඇති බවයි.
එමෙන්ම, ආපදා සහන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ පිහිටි චීන වාණිජ මණ්ඩලය සහ විදේශීය චීන සංගමය මගින් ද පරිත්‍යාග වැඩසටහන් දියත් කර ඇති අතර, ආපදාවට පත් ප්‍රදේශවලට සහාය වීම සඳහා ඒකාබද්ධව රුපියල් මිලියන 10ක මුදලක් රැස් කර ඇත.
