ජපානයයි ඉන්දියාවයි එක්ව කරන්න හදන්නේ මොකක්ද?

ජපානයයි ඉන්දියාවයි එක්ව කරන්න හදන්නේ මොකක්ද?

කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්ත (ECT) ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව ඉන්දු-ජපාන ඒකාබද්ධ අවබෝධතා ගිවිසුම අවලංගු කර වසර දෙකකට වැඩි කාලයකට පසු, රටවල් තුන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව නැවත ආරම්භ කිරීමේ ක්‍රම අධ්‍යයනය කරමින් සිටින බව පසුගියදා නවදිල්ලියේ පැවති සමුළුවකදී අනාවරණය කර තිබෙනවා.

“ඉන්දියාව සහ ජපානය එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ සමහර ව්‍යාපෘති, හේතු කිහිපයක් නිසා ප්‍රගතියක් ලබා නොතිබුණත්, එය නව සහයෝගීතාව ගවේෂණය කිරීමට බාධාවක් නොවිය යුතුයි. ඉන්දියාව සහ ජපානය නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් [FOIIP] දැක්මක් අපේක්ෂා කරන අතර, එය ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ සියලුම රටවලට අදාළ වේ” යැයි ඉන්දියන් සාගර කලාපය සඳහා වන විශේෂ වැඩසටහනේ වගකිවයුත්තා වන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම-ලේකම් පුනීත් අග්ගර්වාල් පසුගියදා සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ, ඉන්දියාවේ නැට්සැට් (NatStrat) සහ විවේකානන්ද පදනම(Vivekananda India Foundation) මෙන්ම පාත්ෆයින්ඩර්(Sri Lanka’s Pathfinder)පදනම ඇතුළු චින්තන පර්ෂද තුනක් විසින් සංවිධානය කරන ලද ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සමුළුවේදී අදහස් දක්වමිනුයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් ආරම්භ කරන ලද පාත්ෆයින්ඩර් පදනම විසින් නිකුත් කරන ලද පත්‍රිකාවක් මත මෙම සම්මන්ත්‍රණය පදනම් වී ඇති අතර, එමගින් ඉන්දියාවට සහ ජපානයට පුනර්ජනනීය බලශක්ති සහ ජාල සම්බන්ධතා ව්‍යාපෘති, ත්‍රිකුණාමලය තෙල් නල මාර්ග කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, ඇතුළු ව්‍යාපෘති රැසකදී ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කළ හැකි බව යෝජනා කර තිබෙනවා.

එසේම සංචාරක හා අධ්‍යාපනය වැනි පුද්ගල කේන්ද්‍රීය ව්‍යාපෘති වෙනුවෙන්ද මෙම දෙරටට ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි බව එම පත්‍රිකාවෙන් පෙන්වා දෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සමුළුව අමතමින් මිලින්ද මොරගොඩ මහතා පවසා ඇත්තේ මෙහිදී සාකච්ඡා කරන ලද ව්‍යාපෘති,පසුගිය ජුලි 21 වැනිදා දිල්ලියේ දී ජනාධිපති වික්‍රමසිංහ සහ අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නිකුත් කරන ලද “ඒකාබද්ධ ආර්ථික දැක්ම ප්‍රකාශයේ” කොටසක් බවයි. සාකච්ඡාවලදී නායකයින් දෙදෙනා එකඟ වූ ආකාරයට, අදාළ ව්‍යාපෘති ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජයන් විසින් එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවායේ ආයෝජනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරනු ඇති බවද ඔහු පවසා තිබුණා.

“ඔබ මෙම සම්පූර්ණ පැකේජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එය ඩොලර් බිලියන ගණනක් බව සිහිතබා ගත යුතුය. ඉන්දියානු පෞද්ගලික අංශයට පමණක් මෙය කළ හැකි යැයි මම නොසිතමි. ඊට හවුල්කාරිත්වයක් තිබිය යුතුයි. එමනිසා අපට ඒ වෙනුවෙන් ජපානයේ හවුල්කාරිත්වයක් ලබාගත හැකියි” යැයි මිලින්ද මොරගොඩ පෙන්වා දුන් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
.
කෙසේවෙතත්, 2020ට පෙර සැලසුම් කළ පරිදි ඉන්දියාව සහ ජපානය එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේද, නැතිනම් ඉන්දියාව සහ ජපානය බංග්ලාදේශයේ සිදුකරන ආකාරයට මෙන් “සමීප සම්බන්ධීකරණයෙන්” ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේද යන්න “කීමට තවමත් ඉක්මන්” බව මෙම සමුළුවට සහභාගී වූ නිලධාරීහු සඳහන් කරනවා.

. 2021 දී අත්හිටුවන ලද ජපානය ක්‍රියාත්මක කරන අධිවේගී මාර්ග පිළිබඳ අවබෝධතා ගිවිසුම, අවසානයේ චීන සමාගමකට පවරා දුන් අතර, ජපානය මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කළ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමූහයට භාර දෙනු ලැබුවා.

මේ නිසාම මේ වසරේ මැයි මාසයේදී ආණ්ඩුව එ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ජපානයට “කණගාටු” ප්‍රකාශ කළ අතර ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි එහිදී පැවසුවේ දකුණු ආසියාවේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට ජපානය උනන්දු වන බවයි.නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ අගමැති ෆුමියෝ කිෂිඩාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව “අත්‍යවශ්‍ය හවුල්කරුවන්” ලෙස ජපානය දකින බව ද කෙසේවෙතත් ප්‍රතිපත්තිය පත පදනම්ව යටිතල පහසුකම් සඳහා ණය ලබාදීමේදී, ඕනෑම ව්‍යාපෘතියක් විනිවිදභාවය, විවෘතභාවය, ආර්ථික ශක්‍යතාව සහ ණය තිරසාරභාවය යන මූලධර්ම හතරට අනුකූලව ක්‍රියාත්මක කළයුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශේෂ සඳහනක් කරමින් ඔහු පැවසුවේ, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය ඒ සඳහා සහය දැක්වීම සඳහා පිහිටුවා ඇති විශේෂ කමිටුවක සම සභාපතිත්වය දැනටමත් දරන බවත්, එහිදී අවශ්‍ය කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාව සියලු ණය හිමියන්ට සමානව සැලකීම බවත්ය.

“එක් රටක් තවත් රටකට අනුග්‍රහය දක්වන්නේ නම් සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණයම කඩා වැටෙනු ඇත. ශ්‍රී ලංකා රජය කිසිවිටෙක වෙනත් රටකට වඩා හිතකර ලෙස කිසිදු රටකට නොසලකන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.” යැයි තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

මෙම ඉන්දු-ජපාන-ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශ්වික ඒකාබද්ධතාව ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක බව කිව යුතුය. ආර්ථිකය ඉදිරි සංවර්ධන මාවතේදී තුලනය කරගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඉන්දියාව සහ ජපානය යන ලෝක බලවතුන්ගේ සහාය අවශ්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Share This