
ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්රණයකට රජය විරුද්ධයි
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික ප්රතිසන්ධාන ක්‍රියාවලිය සංකීර්ණ කරන ඕනෑම බාහිර යාන්ත්රණයකට රජය විරුද්ධ වන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද (08) ආරම්භ වුණා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මීට මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී තිබූ පසුබිමකයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය සඳහා එක්වන්නේ.
යුද්ධය අවසන් වීමත් සමග 2010 වසරේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරමින් අඛණ්ඩව යෝජනා ඉදිරිපත් වූ අතර, මෙවර භාරදී ඇති යෝජනාවද එවැනිම වාර්තාවක් බවයි ශ්‍රී ලංකා රජය පවසන්නේ.
මේ අතර යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට කටයුතු කිරීමට බලය හිමි වන රෝම ප්රඥප්තියට අත්සන් තැබීමටද එමගින් නිර්දේශිතයි.
මෙවන් පසුබිමක් මත ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් වෝල්කර් ටර්ක් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුර ලෙස බාහිර මැදිහත්වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහණය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතුවන බව ශ්‍රී ලංකාව නීර්ක්ෂණය කර ඇති බවයි පැවසෙන්නේ.
එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවන බවයි ලක් රජයේ පිළිතුරේ දැක්වෙන්නේ.
එම යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීම සිදුකෙරුණා.
අමාත්‍ය විජිත හේරත් මහතා මෙම සංචාරය තුළදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් සමඟ විශේෂ හමුවකට ද එක්වීමටයි නියමිතව ඇත්තේ.
මෙම සැසිවාරය අද සිට ඔක්තොම්බර් මස 8 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.