
“ටින්කර්” අළුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොලීසිය,රාජ්‍ය බුද්ධි සේවය සහ එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස ඩුබායි පොලිස් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු වන ශ්‍රීධරන් නෙරන්ජන් හෙවත් “ටින්කර්” අළුයම කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන පසුව මෙම සැකකරු පෑලියගොඩ පොලීසිය වෙත බාර දී තිබෙනවා.
මෙම සැකකරු අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාල සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නමැත්තාගේ අනුගාමිකයකු ලෙස හදුනාගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ 2024.10.16 ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පැමිණි මෝටර් රථය පැදවූ රියදුරු ලෙස මොහු හඳුනාගෙන ඇති බවයි.
2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ජිනරථන මාවතේ දී පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදුකිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම ඔහුට එරෙහිව ඇති තවත් චෝදනාවක් වනවා.
පොලීසිය පැවසුවේ දැනට මෙම සැකකරුට එරෙහිව විදෙස්ගත තහනමක් ද පනවා ඇති බවයි.
දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු 2025.08.19 දින විදේශගත වී ඇති බවටයි.