
දුමින්ද – ලසන්ත – මහින්ද ශ්‍රී.ල.නි.ප. අයිතිය ඉල්ලා අධිකරණයෙන් කළ ඉල්ලිම අගෝ. 20 විභාගයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල වලින් තමන්ව අත්හිටුවීමට ගෙන තිබූ තීරණයට එරෙහිව එම පක්ෂයේ නිලතල දැරූ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම අගෝස්තු මස 20 වැනිදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (30) නියෝග කළා.
එම පැමිණිල්ල අද කැදවනු ලැබුවේ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේයි.
එහිදී පෙත්සම්කාර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා එම පැමිණිල්ල ඒකපාක්ෂිකව විභාගයට ගැනීම සඳහා අගෝස්තු මස 20 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
තමන්ව අත්තනෝමතික ආකාරයෙන් ධුරවල කටයුතු කිරීම අත්හිටුවීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් කටයුතු කළ දුමින්ද දිසානායක , භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.
.
