දේශබන්දු තෙන්නකෝන් පළමු වරට පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙයි

දේශබන්දු තෙන්නකෝන් පළමු වරට පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙයි

දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව හමුවේ වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු අද සිට ආරම්භ වනවා.
ඒ අනුව වගඋත්තරකාර පාර්ශ්වයේ  සාක්ෂිකරුවන් 12 දෙනෙකු කමිටුවට කැඳවීමට නියමිත අතර දේශබන්දු තෙන්නකෝන් ද අද ප්‍රථම වරට සාක්ෂි ලබාදීම සිදු කළා.
අධිකරණය මඟින් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්ධු තෙන්නකෝන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මස අග භාගයේ සිට සාක්ෂි විමසීම සඳහා රැස් වුණා.
ඒ අනුව අද ප්‍රථමයෙන් සිදු කෙරුණේ පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීමේ කටයුතුයි.
අදාළ සාක්ෂි කැඳවීමේදී වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවකට කොළඹ අපරාධ කොට්ටාශයේ සේවය කළ ඇනස්ලම් ද සිල්වා මහතා ඇතුළු සාක්ෂිකරුවන් රැසක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සිදු කළා.
ඊට අමතරව අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමටයි කටයුතු කළා.
එහිදී වැලිගම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාක්ෂි කැඳවීම සිදු කෙරුණු අතර පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි කැඳවීම ඉකුත් සිකුරාදා දිනයෙන් අවසන් වුණා.
ඒ අනුව වැලිගම වෙඩිතැබීම සහ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ කටයුතු අද සිට ආරම්භ වනවා.
වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි කැඳවීමේ ලේඛනයට අනුව සාක්ෂිකරුවන් 12 දෙනෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ඇති.
ඊට අදාල කටයුතු අද පෙරවරු 10ට රැස්වුණා.
ඒ අනුව ප්‍රථමයෙන් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ගෙන් කමිටුව හමුවේ පළමුව ප්‍රශ්න කිරීම ආරම්භ කළ අතර  වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජිව වීරවික්‍රම මහතා ප්‍රශ්න කිරීම ආරම්භ කළා.
එහිදී පලමුව පොලිස් දෙපාර්තමේන්තුවට එක්වීම,රාජකාරි කළ ස්ථාන පිළිබඳව වෙන්වෙන් වශයෙන් කරණු විමසීම සිදු කරනු ලැබුවා.
සංජිව වීරවික්‍රම – ඔබ යුක්තිය මෙහෙයුම ආරම්භ කළාද..? එහි අරමුණ කුමක්ද…?
දේශබන්දු තෙන්නකෝන් – ස්වාමිනි,එවැනි මෙහෙයුමක් ආරම්භ කළා. එහි අරමුණ වුණේ මම වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන කාල සීමාවේ මේ රටේ මත ද්‍රව්‍ය සහ අපරාධ කල්ලි ප්‍රමාණය වර්ධනය වී තිබුණා. ඒක මර්දනය කිරීමේ අරමුණින් යුක්තිය මෙහෙයුම ආරම්භ කළා.
සංජිව වීරවික්‍රම – ඔබ යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ ඔබේ තනි මතයට ද..?  නැත්නම් ඒ සඳහා කාගේ හෝ අනුදැනුමක් තිබුනද..?
දේශබන්දු තෙන්නකෝන් –  ස්වාමීනී මා එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන කාලසීමාවේදී, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට එන්න කිව්ව ජනාධිපති ලේකම් කාර්යාලයට. මම ගියා. මම විතරක් නෙමෙයි එවකට විෂය භාර අමාත්‍යවරයත්  සිටියා. එහිදී මගෙන් ජනාධිපතිතුමා ඇහුවා පොලිස්පතිධූරය ලැබුණොත් වැඩපිළිවෙළක් තියෙනවද කියලා. ජනාධිපතිතුමනි මට සැලැස්මක් තියෙනවා. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ද අවශ්‍ය බව මා එහිදී ජනාධිපතිවරයා හමුවේ සඳහන් කළා.ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මම යුක්තිය මෙහෙයුම ආරම්භ කළා.
සංජිව වීරවික්‍රම – ඔබ නදුන් චින්තක හෙවත් හරක් කටා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළාද,,?
දේශබන්දු තෙන්නකෝන් – ඔව් ස්වාමීනී.. ඔහු සම්බන්ධයෙන් මම විශේෂ විමර්ශනයක් සිදුකළා. හරක් කටා කියන්නේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ ඉතාම සූක්ෂම විදිහට CID  නිලධාරින් අල්ලගෙන, CID නිලධාරීන් සිහිසුන් කරලා සූක්ෂම විදිහට පැනලා යන්න උත්සාහ කළා, ඔහු ඒ තරම්ම දරුණු ගණයේ අපරාධකරුවෙක්.
සංජිව වීරවික්‍රම – ඔහු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළාද?
දේශබන්දු තෙන්නකෝන් – ඔව් මම ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකළා.මං පොලිස්පති උනාට පස්සේ ඔහු ගැන සොයා බලන්න ඔහුගේ දත්ත වාර්තා කැඳවන්න කටයුතු කළා.
සංජිව වීරවික්‍රම –  එම විමර්ශන සිදු කළේ නිත්‍යානුකූල ආකාරයට ද..?
දේශබන්දු තෙන්නකෝන් – ඔව් ස්වාමීනී.. මා එම විමර්ශන සිදු කළේ නීත්‍යනුකූල ආකාරයටයි.
ඉන් අනතුරුව ද වගඋත්තරකාරය දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් නීතිඥයන් මහතා වදුරටත් ප්‍රශ්න කිරීම සිදුකළා.
Share This