
නොසැලකිලිමත් ලොරි රියදුරකු නිසා යතුරුපැදියක පැමිණි තරුණයින් දෙනෙකුට බරපතල තුවාල
හොරණ – කොළඹ 120 ප්රධාන මාර්ගයේ කුඹුක ප්රදේශයේදී ඊයේ රාත්රි දහයයි තිහට පමණ යතුරු පැදියක් – ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනකු බරපතල තුවාල ලබා හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොරගහහේන පොලිසිය පැවසුවේ කොළඹ දෙස සිට පැමිණි ලොරි රථයක් එකවර මාර්ගයේ වම් මං තීරුවේ සිට දකුණු මන්තීරුවට යූ ටර්න් එකක් ගෙන හැරවීමට උත්සාහ කිරීමේදී එම දෙසටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ බඳේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි සහ විසි හය හැවිරිදි වියේ පසු වන කුලියාපිටිය සහ අවිස්සාවේල්ල යන ප්රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.
පසුව ප්රදේශවාසීන් විසින් 1990 ගිලන් රථ සේවය ඔස්සේ හොරණ දිස්ත්රික් රෝහලට ඔවුන් ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණා.
පොලීසිය පැවසුවේ යතුරුපැදියේ පසුපැදිකරු වන විසි දෙහැවිරිදි වියේ පසුවන අයගේ තත්ත්වය බරපතළ බවයි.
සිද්ධියෙන් පසුව ලොරි රථය එම ස්ථානයේ නොනවත්වා ධාවනය කර තිබෙනවා.
මේ වන විට ලොරි රථය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරගහහේන පොලිසිය විමර්ශන සිදුකරනවා.
