
පළුදු වූ ජනතා විශ්වාසය හදන්න ඇමති හර්ෂණ බන්ධනාගාර නිලධාරීන් කැදවයි
බන්ධනාගාර ක්‍රමවේදය කෙරෙහි පළුදු වී ඇති ජනතා විශ්වාසය යළිත් ඇති කිරීම නිලධාරීන් ගේ වගකීමක් යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී අද (23) පැවති සාකච්ඡාවකදීයි.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටළු පිළිබදව මෙහිදී අවධානය යොමු වුණා.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී පැවසුවේ “ බන්ධනාගාර පද්ධතියේ දුෂණ වංචා අක්‍රමිකතා සිදුවන බවට ජනතාවගෙන් පැමිණිලි යොමු වෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඇති ගැටළු සහ ජීවිත තර්ජන වැඩියි. පහුගිය කාලයේ දේශපාලන අතපෙවීම මේ ආයතනය තුළට සිදු වුණා. ඒ වගේම මේ ආයතනය තුළ වංචා දුෂණ සිදුව තිබෙනවා. අපි ඒ තත්ත්වය වෙනස් කර තිබෙනවා. වෙනස්කම් කරන බවට ජනතාවට මේ රජය පොරොන්දු වුණා. බන්ධනාගාරය තුළ වෙනම රාජධානියක් තිබෙන බවට හා නිලධාරීන්ට අවශ්‍ය දේ පමණක් සිදු වන බවට චෝදනා තිබෙනවා. කාන්තා රැඳවියන්ට සහ තරුණ සිරකරුවන්ට විශේෂ ගැටළු පවතින බවට සමාජය තුළ මතයක් පවතිනවා. “
පාතාල ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා ඇතැයි හර්ෂණ නානායක්කාර මහතා එහිදී සදහන් කළා.ඔහු පෙන්වා දුන්නේ නිලධාරීන්ගේ සහයෝගය නොමැතිව බන්ධනාගාර තුළට දුරකථන රැගෙන යා නොහැකි බවයි.
“ ඇතැම් බන්ධනාගාරවල සිරකරුවන් බන්ධනාගාර වහළ මතට නැඟ උද්ඝෝෂණය කරනවා. මේවා වෙන්නේ සංවිධානාත්මකවයි. මාතර බන්ධනාගාර පිළිබදව පැමිණිලි වැඩි වශයෙන් පසුගිය දින කිහිපය තුළ යොමු වුණා. “
ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිරකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමයට අවශ්‍ය සංශෝධන අපරාධ නඩු විධි විධාන සංග්‍රහයට ඇතුළත් කර තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
එහි පළමු අදියර අනුව වැඩි වශයෙන් අධිකරණයට යොමු වන සිරකරුවන් පිළිඳව සොයා බලා ඒ අනුව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සාක්ෂි ලබා ගැනීමට සැලසුම් කිරීමට හා ඒ සඳහා අවශ්‍ය සන්නිවේදන උපකරණ ලබාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.