
ප්‍රහාරයක් එල්ලවේ නම් ඊට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතයට සුදානම් – පාකිස්තාන ආරක්ෂක ඇමති
මේ වන විට මුළු ලෝකයේම අවදානය ඉන්දියාවත් පාකිස්තානයත් වෙත යොමුව තිබෙන්නේ පසුගියදා පෙහෙල්ගාම්හී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමඟයි.
ඒ අනුව ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ පාකිස්තානයේ තොරතුරු සහ විකාශන කටයුතු අමාත්‍ය අතාවුල්ලා තරාර් ගේ ගිණුමේ සටහනක් උපුටා දක්වමින්.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි ක්‍රියාවකට සෘජුව සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි.
එමෙන්ම ඕනෑම වියදමක් දරා පාකිස්තානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ජාතියක් ලෙස කටයුතු කරන බවද ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබෙනවා.
පසුගියදා ඉන්දීය ජම්මු කාෂ්මීරයේ පෙහෙල්ගාම්හී සිවිල් වැසියන් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී වෙඩි ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික මතභේද මේ වනවිට අවි ගැටුමක් දක්වා තීව්ර වී තිබෙනවා .
පාකිස්තානයේ සන්නද්ධ සංවිධාන මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවයි ඉන්දීය රජය චෝදනා කළේ.
කෙසේ වෙතත් පාකිස්තානය පවසන්නේ ඉන්දියාවෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි .
ඊයේ (29) පාකිස්තානය ආරක්ෂක අමාත්‍යවරයාද මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේ ඉන්දියාවෙන් තම රටට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවත් අවශ්‍ය අවස්ථාවකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීමටද සිය රජය සුදානම් බවයි.
මේ අතර ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග ඊයේ සාකච්ජාවකද නිරත වු බව වාර්තා වෙනවා.