පිලියන්දල කුලී නිවසක මිය ගිය කාන්තාවගේ මරණයට සැක පිට අයෙක් අත්අඩංගුවට

පිලියන්දල කුලී නිවසක මිය ගිය කාන්තාවගේ මරණයට සැක පිට අයෙක් අත්අඩංගුවට

පිලියන්දල ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ තමන් සිය දිවි නසාගත් බව පවසමින් මියගිය කාන්තාව ලියූ බව කියන කොළ කැබැල්ලක් ද හමුවුවත්, මරණය සැක කටයුතු බවයි.

පිලියන්දල පැලන්වත්ත නාගහ මාවතේ කුඩා කාමරයක තාවකාලිකව පදිංචිව සිටි 30 හැවිරිදි දෙදරු මවක් සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පෙරේදා පිලියන්දල පොලිසිය සොයාගත්තා.

මෙලෙස මියගිය කාන්තාව පිලියන්දල, මකුළුදූව ප්‍රදේශයේ ආපන ශාලාවක සේවිකාවක් ලෙස රැකියාව කර තිබෙනවා.

කාමරය තුළ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට හැඟවෙන සලකුණු ද සහිතව සිරුර බිම වැටී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ‘මම මේ දේ කරගන්නේ මගේ කැමැත්තෙන්. කවුරුත් මේකට සම්බන්ධ නැහැ.’ යනුවෙන් ලියූ කුඩා කොළ කැබැල්ලක් ද මිය ගිය කාන්තාවගේ වම් අතට යටවී තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පිලියන්දල පොලිසිය මියගිය කාන්තාව සබඳතා පැවැත්වූ බව කියන 25 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ කුලී නිවසේ හිමිකාරිණියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මතයි.

Share This