බන්ඩාරගම දී රථ 3 ක් එකට ගැටී 12 ක් රෝහලට

බන්ඩාරගම දී රථ 3 ක් එකට ගැටී 12 ක් රෝහලට

බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී ලොරි රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ තුවාල ලබා ඇති පිරිස අතර නර්තන කණ්ඩායමක සාමාජිකයන් දස දෙනෙකු සහ එකම පවුලේ මවක් සහ දුවක් ද සිටින බවයි.

තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු බණ්ඩාරගම දිසාරෝහලේ ප්‍රතිකාර ලබන අතර පස්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත යොමු කළ බව බණ්ඩාරගම දිසාරෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

ලොරි රථය මොරන්තුඩුව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තීරෝද රථයක් මාර්ගය හරහා පැමිණ ලොරි රථයේ ගැටී පෙරළීමත් සමඟ ලොරි රථ රියදුරු තිරිංග තද කර ඇති අතර ඊට පිටුපසින් පැමිණි වෑන් රථය ලොරියේ ගැටී තිබෙනවා.

එම අනතුරත් සමගම ප්‍රදේශවාසීන් ලොරි රථ‍යේ රියදුරට පහරදී ඇතැයි ද පොලිසිය පවසනවා.

පොලිසිය සදහන් කළේ වෑන් රථයේ ගමන් ගත් පිරිස වස්කඩුව පොතුපිටිය සිට හලාවත ප්‍රදේශයේ පෙරහරකට සහභාගි වීම සඳහා යමින් සිටියදී මෙම අනතුර වී ඇති බවයි.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ දුව කොළඹ මහ රෝහලේ සායනයකට සහභාගී වී නැවත නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී සිටියා.

 

 

Share This