බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය දින හතර තුළ අවසන් කිරීමට පියවර

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය දින හතර තුළ අවසන් කිරීමට පියවර

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

ඒ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී යි

එහිදී ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළ ජනාධිපතිවරයා වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කර තිබෙනවා

මෙහිදී වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලු දෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගෙන ඇති අතර ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින හතම පැය විසිහතරම රාජකාරි කිරීමට එකඟතාවය පල කර තිබෙනවා

එමෙන්ම පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇති අතර ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කෙරුණා

ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය වී තිබෙනවා

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී ඇති බව සඳහන්.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ , ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වුණා.

එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාල නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා

Share This