
බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීතයේදී සිදුවූ යම් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
එක්සත් රාජධානිය විසින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ඇන්ඩෘෘ පැට්රික් මහතා වෙත අද (26) දැනුම්දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානි සම්බාධක” යන මැයෙන් 2025 මාර්තු 24 වැනි දින එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩල හා සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය කෙරෙහි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූ කරුණු පහතින්…
“වගකිවයුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේ යැයි මැතිවරණ ව්‍යාපාරය අතරතුර දෙනු ලැබූ පොරොන්දුවක්’ සම්බන්ධයෙන්ද එකී පුවත්පත් නිවේදනයේ සඳහනක් වෙයි.”
“අදාළ පුද්ගලයන් සතුව එරට ඇති වත්කම් අත්හිටුවීම සහ ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළත් මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අවධාරණය කරයි. රටවල් විසින් ගනු ලබන එවැනි ඒකපාර්ශ්වික පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන අතර තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බව නිරීක්ෂණය වේ.”