බිළිවූ ජීවිත ගණන 40,000 පනී – සහන දෙන්න දේශසීමා ඔස්සේ අලුත් හරස් මාර්ග දෙකක්

බිළිවූ ජීවිත ගණන 40,000 පනී – සහන දෙන්න දේශසීමා ඔස්සේ අලුත් හරස් මාර්ග දෙකක්

පසුගිය සතියේ ඇති වූ මාරාන්තික භූමිකම්පාවෙන් විනාශ වූ රට තුළට ආධාර සැපයීම සඳහා තවත් දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කිරීමට සිරියාවේ රජය එකඟ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ  එය විශාල වෙනසක් ඇති කිරීමට හේතු පාදක වනු ඇති බවයි .

භූමිකම්පාවෙන් මේ වනවිට දෙරටේම පුද්ගලයින් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රට මත පනවා ඇති බටහිර සම්බාධකවල බලපෑම මත ගලවා ගැනීමේ ප්‍රයත්නවල දුෂ්කරතා ඇති බවද සිරියාවේ  රජය චෝදනා කරනවා

එහෙත් ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් පවසන්නේ  රජයේ වැරදි කළමනාකරණය සහ රටේ සියලුම ප්‍රදේශ සමග සම්බන්ධ වීමට පවතින බාධාවන් මීට හේතුවී ඇති බවයි.

තුර්කියේ මිලියනයකට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති අතර සිරියාවේ මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව ආධාර ලබාදෙන සංවිධාන අනතුරු අඟවනවා .

දෙරටේම ගලවා ගැනීමේ කණ්ඩායම් විශාල ප්‍රදේශයක ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරමින් සිටින අතර, තවත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ අවස්ථා බොඳ වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This