
බුදු සසුනේ මෛත්‍රියේ මූර්තියක් වූ මහනායක මෛත්‍රීමූර්ති හිමියෝ
පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නායක හිමියන් අමරපුර මහා නිකායයේ රාස්සගල පාර්ශ්වයේ මහනායක පදවියට පත්වී තිබෙනවා.
උන්වහන්සේ මහා නායක පදවියට සම්ප්‍රාප්ත වීමට ප්‍රථම අමරපුර මහා නිකායයේ රාස්සගල පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරයේ වැඩසිටි බව සඳහන්.
ගිහි කළ කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලයෙන් සහ කොළඹ මහා බෝධි විද්‍යාලයෙන් ස්වකීය මූලික අධ්‍යාපනය ලද උන්වහන්සේ පරම පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් යටතේ භික්ෂු අවධියේ දී ගුරුහරුකම් ලැබ තිබෙනවා.
පාලි, සිංහල, සංස්කෘත, ආදී භාෂාවන් හැදෑරූ මෛත්රීමූර්තී හිමියන් පසුව දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ප්රවිෂ්ඨව විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෙක් එහි අධ්‍යාපනය ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙසත් ඉන් පසුව ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන මහ පිරිවෙණෙහි පරිවේණාධිපති ධුරයටත් පත් වූ උන්වහන්සේ සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් හා ආගමික විෂයභාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
මනස පිළිබඳ බෞද්ධ විග්‍රහය, මානසික රෝග සුවපත් කරගන්නා අයුරු, බුද්ධ ගද්‍ය හා සකස්කඩය, සැනසිලිදායක ජීවිතයකට මඟ, ඔබේ සිත දෙස බලන්න ආදී ග්රන්ථ රැසක් ලියා පළකර ඇති පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මාහිමිපාණන් වහන්සේ බෞද්ධ දර්ශනය, බෞද්ධ මනෝවිද්‍යාව, සමයාධ්යයනය ආදී විෂය ක්ෂේත්‍ර රැසක ප්‍රාමාණික උගතකු බවයි වාර්තා වන්නේ.
උසස් අධ්‍යාපනය ලබන කාලයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාල භික්ෂු සංගමයේ ලේකම් ධුරයත් පසුව සභාපති ධුරයත් සබරගමුව සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ධුරයත් සභාපති ධුරයත්, බලංගොඩ සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධුරයත් උන්වහන්සේ දරා ඇති බව සඳහන්.
තවද 1975 වර්ෂයේ සිට බලංගොඩ ශ්‍රී ධම්මානන්ද මහා විහාරයේ විහාරාධිපති ධුරයටද මෛත්‍රීමූර්ති මහ නායක හිමියන් පත්ව තිබෙනවා.