බෙල් 212 මාදුරුඔය අනතුරේ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියොගයක්

බෙල් 212 මාදුරුඔය අනතුරේ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියොගයක්

මාදුරුඔය හෙලිකොප්ටර් යානා අනතුර පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකොට අනතුරට හේතුව හා විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා ගුවන් හමුදාවට නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පසුගියදා මාදුරු ඔය ජලාශයට කඩා වැටුනේ මාදුරුඔය යුධ හමුදා පාසලේ සිට නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීමක් සදහා හමුදා සාමාජිකයින් 12ක් රැගෙන පියාසර කරමින් සිටියදීයි.

ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ, එහි ගමන් ගත් පිරිස, මුදාගෙන අරලගන්විල සහ පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කෙරුණත් ඉන් බරපතල තත්ත්වයේ පසුවු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 9දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කෙරුණා.

එම විමර්ශනවලට අදාළව ගුවන් හමුදාවේ සාමාජිකයින්, නාවික හමුදා කිමිදුම්කරුවන්, ඇතුළු ආරක්ෂක අංශවල සහායෙන් අනතුර සිදු වු ස්ථානයේ මූලික නිරික්ෂණයන් සිදු කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටර් යානයේ කොටස් කිහිපයක් ගොඩගැනීමට ද හැකියාව ලැබුණා.

පසුව එම කොටස් වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් හමුදා කදවුර වෙත රැගෙන විත් ඇති අතර ඉතිරි සුන්බුන් ගොඩ ගැනීමේ මෙහෙයුම් සහ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරංග ගීගනගේ මහතා සදහන් කළේ.

මේ අතර, හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ සෙසු ආරක්‍ෂක අංශ සාමාජිකයන් 6 දෙනා පොළොන්නරුව සහ අරලගන්විත රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

Share This