බෝට්ටු අනතුරු දෙකකින් ධීවරයින් 06 ක් අතුරුදන්

බෝට්ටු අනතුරු දෙකකින් ධීවරයින් 06 ක් අතුරුදන්

මුහුදේ සිදුවූ ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක්

අද (28) උදෑසන මුහුදේ දී ධීවර යාත්‍රා අනතුරු දෙකක් සිදුවී ඇති බව වාර්තා වනවා.

මෙම අනතුරු හේතුවෙන් ධීවරයින් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති අතර, මේවනවිට ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

දෙවුන්දර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය එම්.ටී.ආර් 263 දිනේෂ් හතර (MTR 263 Dinesh Hithara) නම් බහුදින යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටෙන්නට ඇතැයි සැක කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ධීවර කාර්මිකයින් පස්දෙනෙකු සිටි මෙම යාත්‍රාවේ උඩ කොටසේ රැඳී සිටි එක් ධීවරයෙකු මුදා ගෙන ඇති අතර, ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

අනෙක් සිව්දෙනා සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද උදෑසන 7:30 සිට සෝදිසි මෙහෙයුම් සහ කිමිදුම් කටයුතු සිදු කරන බව වාර්තා වුණා.

මෙම සිදුවීම ගොඩබිම සිට සැතපුම් 20ක් පමණ ඈත වෙළෙඳ නෞකා ගමන් මාර්ගයක සිදුවී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු සදහන් කළේ.

ධීවර යාත්‍රාවේ යටපැත්තේ අනිකුත් ධීවර කාර්මිකයින් රැඳී සිටිනවාද යන්න පිළිබඳ සැකය මත, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කිමිදුම්කරුවන් සමඟ එම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නිරත වෙමින් අනිකුත් ධීවර කාර්මිකයින් සොයාගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසුවා.

අනෙක් අනතුර සිදුව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ, මොරගල්ල, බේරුවල මුහුදු තීරයේ දීයි.

අද උදෑසන (28) ධීවර කාර්මිකයන් දෙදෙනෙකු ගිය එක්දින ෆයිබර්ග්ලාස් යාත්‍රාවක් (OFRP යාත්‍රාවක්) අනතුරට පත්ව තිබෙනවා.

ධීවරයන් නොමැතිව යාත්‍රාව මුහුදේ දී දැක ඇති අතර, මේ වන විට එම යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් සිටින බව වාර්තා වුණා.

අතුරුදහන් වූ ධීවරයින් දෙදෙනා සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම සිදුවීම ගොඩබිම සිට ඉතාම ආසන්න ප්‍රදේශයේ සිදුවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මුහුදු ගිය ධීවර කාර්මිකයින් කවුදැයි වාර්තා නොවුණද, කාර්මිකයින් දෙදෙනෙකු මෙම යාත්‍රාවේ රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති බවට තහවුරු වී ඇති බවයි.

මෙම ධීවරයින් දෙදෙනාද සොයා ගැනීම සඳහා උපරිම උත්සාහයක් දරමින් සිටින බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් අවධාරණය කරනු ලබන්නේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ඇධ්‍යක්ෂ ජන‍රාල්වරයා අවධාරණය කෆ්ළ අතුරුදහන් වූ ධීවරයින් සොයා ගැනීම සහ අදාළ සහන සැලසීම සඳහා සියලු පියවර ගන්නා බවයි.

 

Share This