
භික්ෂූන් වහන්සේලාට පොලිසිය පහරදුන්නේ කවරෙකුගේ වුවමනාවටද.? ප්‍රශ්න සහගතයි – කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානාහිමි ජනපතිට ලියයි
ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ බුදු පිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලාට පහරදිමට පොලිසිය කටයුතු කළේ කවරෙකුගේ වුවමනාව වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගත බවත් පොලීසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකින බවත් සදහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම පහර දීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගත වෙන්න සිදුව ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බවත් උවහන්සේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ දැක්වෙනවා.
ලිපිය යොමු කරමින් මහ නාහිමියන් වැඩිදුරටත් මෙසේ අවධාරණය කරනවා, යථෝක්ත විහාරස්ථානය වර්ෂ 1951 සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයකි.
එය බෞකො/විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාඅමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයක්ද වනවා.
2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිතුමන් විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බවයි උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.
කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝ රත්නයේසේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී තිබෙනවා.
2025 නොවැම්බර් 16 දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බවයි මහ නාහිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ පිළිබඳ ජනාධිපතිතුමන්ගේ කඩිනම් අවධානය යොමු කොට, දැනට කඩා ඉවත් කිරිමට යොජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ ලිපියෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අවධාරණය කරනවා.

