මඩ පොහොර අඩු මිලට දෙන්න ගැසට්ටුවක්

මඩ පොහොර අඩු මිලට දෙන්න ගැසට්ටුවක්

ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම ගැටලු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීම, පොහොර යෙදීමේ උපාය මාර්ග සහ වී අලෙවි කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ගොයම් කහවීමේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුව ගොවීන් මඩ පොහොර භාවිතය අඩුවීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇති අතර, ඉදිරි යල කන්නයේදී මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව වාර්තා වනවා..

කාබනික හා රසායනික පොහොර සමාගම් විවිධ මතවල සිට පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරන බවත්, මේ සම්බන්ධව කටයුතු කරන විවිධ විද්වතුන් හා ආයතන එක්ව තනි මතයක සිට කටයුතු කිරීම යෝග්‍ය බවත් මෙහිදී සඳහන් කෙරුණා.

විශේෂයෙන් ඉදිරි යල කන්නයේ පොහොර භාවිතය පිළිබඳ මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු වූ අතර මහ කන්නයේ පැවති මිලට වඩා අඩු මිලකට ගොවි ජනතාවට පොහොර මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ වැදගත්කම සාගල රත්නායක මහතා විසින් පෙන්වා දෙනු දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

මෙම සාකච්ඡාවට එක්ව සිටි පොහොර සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ ගොවියාට අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන ඉහළ නංවාගත හැකි අන්දමින් පසට යෝග්‍ය බෝග වර්ග හා සුදුසු කෘෂි යෙදවුම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිර්දේශ කරීමට හැකි නම් යෙදවුමට සරිලන නිමවුමක් ගොවීන්ට ලබා ගත හැකි බවයි.

Share This