මාර්තුවේ දී IMF ගැන ‘ජනපතිට’ බලාපොරොත්තුවක්

මාර්තුවේ දී IMF ගැන ‘ජනපතිට’ බලාපොරොත්තුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි.

ඉන්ධන මිල, විදුලි ගාස්තු, යන්ත්‍ර සූත්‍ර නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම් වැඩිවීම සහ අනෙකුත් සියළුම නිෂ්පාදන හා පරිපාලන වියදම් ඉහළ යාම නිසා සහල් කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී ඇති බවත්, එම නිෂ්පාදන මිලට සාපේක්ෂව දැනට වෙළඳපොළේ පවතින සහල් මිලට තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවත් සහල් මෝල් හිමියන් විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම වී මිලදී ගැනීමට ලබාගත් බැංකු ණය සඳහා 28% ක පොළියක් ගෙවීමට සිදුවීම හේතුවෙන් මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතාව පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ..

ගොවිතැන් කටයුතුවල ගොවි යෙදවුම් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා වී කිලෝවක නිෂ්පාදන වියදම වැඩිවී අති අතර, වගා කටයුතු සඳහා ගොවීන් බැංකු වලින් ලබා ගෙන ඇති ණය සඳහා ඉහළ පොළියක් ගෙවීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කෙරුණා.

මෙලෙස ගොවියාගේ නිෂ්පාදන වියදම මෙන්ම සහල් මෝල් හිමියන්ගේ සහල් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා වී කර්මාන්තය පවත්වාගෙන යාමට අසීරු වී තිබෙන අතර රජයේ මැදිහත්වීමෙන් ඊට කඩිනමින් සහනයක් ලබා දෙන ලෙසද ඔවුහු ඉල්ලිම් කර තිබෙනවා.

මේ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පාරිභෝගික ජනතාවට මෙන්ම ගොවීන්ට ද ලබාදිය හැකි සියලු සහන ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර වී නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සහල් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳවත් කඩිනමින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරිහු ද, ඩඩ්ලි සිරිසේන මහතා ඇතුලු සුළු හා මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Share This