මියැදෙන ජීවිත – ලෝකයේ අවි ආයුධ වෙළඳාම ඉහළ ට

මියැදෙන ජීවිත – ලෝකයේ අවි ආයුධ වෙළඳාම ඉහළ ට

ඊශ්‍රායල – යුක්‍රේන මූලික යුද්ධ හේතුවෙන් ලෝකයේ අවි ආයුධ වෙළඳාමේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා.

එසේම, මෙම යුද්ධවලට අමතරව තවදුරටත් නොයෙකුත් රටවල් විසින් සිය ආරක්ෂාව පෙරට වඩා තහවුරු කර ගැනීම ද අවි ආයුධ නිෂ්පාදන වෙළඳ පොළ ට වාසි සහගත තත්ත්වයක් උදා කර දී ඇති බවයි පැවසෙන්නේ.

හමාස්ගේ ප්‍රහාරය, මැද පෙරදිග නව යුද්ධයක් අවුලුවා දින කිහිපයකට පසුව, අමෙරිකානු ආයුධ නැව් ඊශ්‍රායලයට පැමිණීමට පටන් ගත්තා සේම අමෙරිකානු ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානය විනාශ කර දැමීම සඳහා ඊශ්‍රායලය ට සහය දක්වන බවයි.

ඊශ්‍රායල – හමාස් ගැටුම අමෙරිකානු සැපයුම්කරුවන් අතර ලාභ සහ ආයුධ සෑදීමේ හැකියාව ඉහළ නංවන ජාත්‍යන්තර ආයුධ අලෙවියේ වර්ධනයක් ඇති කිරීමේ පෙළඹවීමක් බවයි විදෙස් දේශපාලන විචාරකයන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ.

මවිතයට කරුණ වන්නේ ලෝකයේ විශාලතම ආයුධ අපනයනකරු වන එක්සත් ජනපදය, ලෝකය තවදුරටත් යුද්ධවලට නැඹුරු වනු ඇතැයි කනස්සල්ල මතු කිරීමයි.

එසේම යුද්ධය නවතා දැමිය යුතු බවට ව්‍යංගයෙන් අදහස් දක්වමින් යුද වදින කුමන හෝ පාර්ශ්වයකට සහාය දැක්වීම ද අමෙරිකාවේ ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන බොහොමයක් නොදුටු පැතිකඩක්.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මාරාන්තික හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීමට පෙර සිටම, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම සහ චීනයෙන් නැගී එන තර්ජනයක් පිළිබඳව ද මතවාදී අදහස් හුවමාරු වීම සමග ප්‍රහාරක ගුවන් යානා, මිසයිල, යුද ටැංකි, කාලතුවක්කු, යුධෝපකරණ සහ අනෙකුත් මාරාන්තික උපකරණ මිලදී ගැනීමට ලොව පුරා බොහෝ රටවල් කඩිමුඩියේ කටයුතු කර ඇති බව ද සඳහන්.

ඒ අනුව තරඟකාරීව සිටීම සඳහා නව පරම්පරාවේ උපකරණ මිලදී ගැනීම ද මෙලෙස යුද උපකරණවල විකුණුම් වැඩිවීමට හේතුවක්.

අමෙරිකානු නිෂ්පාදන සමාගම් ඊශ්‍රායලයට ආයුධ සැපයීමට කටයුතු කරමින් සිටිනවා සේම රුසියාවට එරෙහි යුද්ධය සඳහා යුක්‍රේනයට ද ආයුධ සපයමින් සිටිනවා.

මෙලෙස මැදපෙරදිග නව යුදමය වාතාවරණයක් වර්ධනය වීම සහ ඒ අනුව ආයුධ නිපදවන ප්‍රධාන රටවල් සඳහා ආර්ථිකමය වශයෙන් වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර ඔවුන් තව තවත් එම ඉල්ලුමට අනුව සැපයුම් ලබා දීම කෙරෙහි වැඩි අවධානය යොමු නොකර සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

චීනයෙන් නැගී එන තර්ජනයක් පිළිබඳව ද ලෝකයේ මතයක් ගොඩනැගෙමින් පවතින වකවානුවක ආයුධ වෙළඳ පොළ විසින් ආසියාව තුළ ද ඩොලර් බිලියන ගණනක ඇණවුම් බලාපොරොත්තු වෙමින් පවතින බව සඳහන්.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට අනුව, පසුගිය වසරේ ලොව පුරා මිලිටරි වියදම් – ආයුධ, පිරිස් සහ අනෙකුත් වියදම් – ඩොලර් ට්‍රිලියන 2.2කට ළඟා වී තිබෙනවා.

විශාල වශයෙන් අවධානය යොමු වී ඇති අංශයක් වී ඇත්තේ නව ආයුධ පද්ධති මිලදී ගැනීම වැඩි කිරීමයි.

එක්සත් ජනපදය, චීනය සහ රුසියාව තුළ විකුණුම් හැර, මිලිටරි ප්‍රසම්පාදනය සඳහා වන ලෝක ව්‍යාප්ත වියදම් ලබන වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 241 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, උද්ධමනය සඳහා ගැළපීමෙන් පසුව පවා එය පසුගිය වසරේ සිට සියයට 23ක වැඩිවීමක්.

පසුගිය වසර වන විට, එක්සත් ජනපදය විසින් ඇස්තමේන්තුගත ලෝකයේ ආයුධ අපනයනයෙන් සියයට 45 ක් පාලනය කර තිබෙනවා.

මෙලෙස යුද උපකරණ සඳහා ඇති දැඩි ඉල්ලුම, තුර්කිය සහ දකුණු කොරියාව වැනි අනෙකුත් ආයුධ නිපදවන ජාතීන්ට ඔවුන්ගේ අපනයන වැඩි කිරීම දිරිමත් කර ඇති අතර, එක්සත් ජනපදයේ නිෂ්පාදන හිඟය නිසා ඇණවුම් කිරීමට වසර ගණනාවක් ගත විය හැකි අවස්ථාවක ගැනුම්කරුවන්ට ඒවා විකල්ප ලෙස භාවිතා කළ හැකියි.

රුසියාව විසින් සිය රට ආක්‍රමණය කරනු ඇති බවට සිතා පෝලන්තය ද විශාල වශයෙන් යුද උපකරණ මිලදී ගනිමින් තර්ජනවලට මුහුණ දීම සඳහා වඩාත් දැඩි ලෙස සන්නද්ධ වෙමින් සිටින බව සඳහන්.

ඊශ්‍රායලයේ සිට සෞදි අරාබිය දක්වා මැදපෙරදිග ජාතීන් අමෙරිකානු ආයුධවල ප්‍රධාන ගැණුම්කරුවන් ලෙස දිගටම කටයුතු කරන අතර නව යුද්ධයත් සමඟ දැන් නැවත ඇණවුම් වැඩි වනු ඇති.

එක්සත් ජනපදය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි නව ගනුදෙනුකරුවන් සමඟ ප්‍රවේශ වීමට පටන් ගෙන ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

ඔවුන් රුසියාවෙන් හෝ චීනයෙන් ඉවත් කිරීම එහි අරමුණක් වී ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙනවා.

ප්‍රධාන අමෙරිකානු කොන්ත්‍රාත්කරුවන්ට පමණක් නොව අනෙකුත් ජාතීන්ට ද අවස්ථා විවර කරමින් පෝලන්තයට වඩා යුද උපකරණ මිල දී ගැනීමේ තරගය යුක්‍රේනයෙන් පිටත කොතැනකවත් දක්නට නොලැබෙන බව සඳහන්.

පෝලන්තයට නව ආයුධ විශාල ප්‍රමාණයක් අවශ්‍ය බව තීරණය කර ඇති අතර අමෙරිකානු කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාණවත් තරම් වේගයෙන් භාණ්ඩ ලබා දිය නොහැකි බවයි පෝලන්ත රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආයුධ අලෙවිය පුළුල් කිරීමට කටයුතු කළ දකුණු කොරියාව සහ තුර්කිය වැනි රටවලට එහි වාසිය හිමිවනු ඇති.

පසුගිය වසරේ, පෝලන්තය දකුණු කොරියාව සමඟ ඩොලර් බිලියන 14 ක ගිවිසුමකට එළැඹ ඇති අතර එය යුද ටැංකි 1,000 ක්, ප්‍රහාරක ජෙට් යානා 48 ක් සහ තවත් යුද උපකරණ වර්ග මිලදී ගැනීමට සැලසුම් කිරීමක් බවයි පැවසෙන්නේ.

මේ වන විට ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ මිලිටරිවල ඇති සියලුම ටැංකිවලට වඩා පෝලන්තයේ එම ප්‍රමාණය විශාල බව ද සඳහන්.

ගිවිසුම අත්සන් කර වසරකටත් අඩු කාලයකට පසු අගෝස්තු මාසයේදී දකුණු කොරියාවේ නිෂ්පාදිත මිසයිල පද්ධතිවල පළමුවැන්න පෝලන්තය වෙත ලැබී තිබෙනවා.

පෝලන්තය ද තුර්කිය සිය ආයුධ සැපයුම්කරුවන්ගේ ලැයිස්තුවට එක් කර ඇති අතර, සන්නද්ධ ඩ්‍රෝන යානා ඔවුන්ගෙන් මිලදී ගත් අතර පසුගිය වසරේ එහි පළමුවැන්න පෝලන්තය ට ලබා දී ඇති බව ද සඳහන්.

මෑත වසරවලදී තුර්කි ඩ්‍රෝන් නිෂ්පාදකයින් තම උපාංග අවම වශයෙන් ජාතීන් 29කට විකුණා ඇති අතර ලිබියාව, සිරියාව, ඉතියෝපියාව, සෝමාලියාව සහ අසර්බයිජානයේ යුද කලාපවල ඒවා භාවිතා කර ඇති බව ද වාර්තාවල දැක්වෙනවා.

තුර්කිය අවි අලෙවිය හරහා ගෝලීය වශයෙන් සිය බලය සිතියම්ගත කර ඇති අතර 18 වැනි ස්ථානයේ සිට දැන් ලෝකයේ 11 වැනි විශාලතම ආයුධ වෙළෙන්දා බව ට ඔවුන් පත් වී ඇති බවද සඳහන්.

ඉන්දුනීසියාව රුසියානු Sukhoi Su-35S ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා 2018 දී ගිවිසුමක් අත්සන් කර තිබී ඇති අතර පසුව එම ගනුදෙනුවෙන් ඉවත් වී ඒ වෙනුවට බටහිර රටවල්වලින් ඒවා මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වර්තා පෙන්වා දෙන්නේ.

මෑතකදී ප්‍රංශයෙන් ප්‍රහාරක යානා මිලදී ගැනීමට ඔවුන් යොමු වූ අතර අමෙරිකානු සමාගම්වලින් ද ඔවුන් යුද උපකරණ මිලදී ගැනීම සඳහා පෙළඹී තිබෙනවා.

Biden පරිපාලනය තුළ එක්සත් ජනපදය විසින් සිදු කරන ලද හමුදා උපකරණ ගනුදෙනු වියට්නාමය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය සහ සමහර කුඩා පැසිෆික් දූපත් රාජ්‍යයන් සමඟ පවා සාකච්ඡා කර හෝ අත්සන් කර ඇති බව ද සඳහන්.

තායිවානයට පමණක් ඩොලර් බිලියන 19ක් තරම් වටිනා අමෙරිකානු අවි ඇණවුම් ලැබී ඇති බවයි පැවසෙන්නේ.

ඊශ්‍රායලයේ හමාස් ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු, අමෙරිකානු ජනපතිවරයා නිවේදනය කළේ, ඊශ්‍රායල හමුදා කොන්ත්‍රාත්කරුවෙකු වන රේතියොන් සහ රෆායෙල් විසින් සාදන ලද අතිරේක පතොරම් සහ අයන් ඩෝම් අන්තර්ග්‍රහණ මිසයිල යැවීමට එක්සත් ජනපදය දැනටමත් පියවර ගනිමින් සිටින බවයි.

එක්සත් ජනපදය දැනටමත් ඊශ්‍රායලයට සෑම වසරකම ඩොලර් බිලියන 3 කට වඩා මිලිටරි ආධාර ලබා දෙනු ලබන අතර, වර්තමානයේ ඊශ්‍රායලය එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආධාර ඉල්ලා ඇති නමුත්, එම ඉල්ලීම ආයුධ සහ උණ්ඩ සඳහා කොපමණ මුදලක් වේද යන්න මෙතෙක් පැහැදිළි නැහැ.

ඊටත් වඩා ආයුධ ළඟදීම සෞදි අරාබිය වෙත ගෙන යා හැකි අතර, එය දැනටමත් එක්සත් ජනපද ආයුධවල තනි විශාලතම ගැනුම්කරු වනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ, ඔවුන් අමෙරිකානු නිෂ්පාදිත ටැංකි සහ ආයුධ පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කොටස් සඳහා පසුගිය මාසයේ යෝජිත ඇණවුම ඇතුළුව තවත් ඩොලර් බිලියන ගණනක් මිලදී ගැනීමට අවසර ඉල්ලා ඇති බව ද සඳහන්.

ලොව විශාලතම මිලිටරි කොන්ත්‍රාත්කරු වන Lockheed පසුගිය වසර දෙක තුළ ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, ජර්මනිය, ග්‍රීසිය, චෙක් ජනරජය, කැනඩාව සහ කොරියාව සමඟ එහි F-35 ප්‍රහාරක ජෙට් යානා සඳහා ඩොලර් බිලියන 50ක් තරම් වටිනා අනුමැතිය හෝ විකුණුම් ගිවිසුම් ලබාගෙන තිබෙනවා.

එසේනම් ආයුධ නිෂ්පාදනය හරහා රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙන ලොව ප්‍රධාන පෙළේ රටවල්, ලෝකයේ යුද්ධ ඇති වීම නතර කිරීමට උත්සාහ කරනු ඇති බවට විශ්වාස කරන්නේ කෙසේ ද ?

යුද්ධ නොමැතිව සාමකාමී වාතාවරණයක් පවතින්නේ නම් යුද්ධයක් නිර්මාණය කිරීමට හෝ ඔවුන් කටයුතු නොකරනු ඇති බවට විශ්වාස කරන්නේ කෙසේ ද ?

සුළු පිරිසකගේ ආර්ථික වර්ධනය සහ බලය වර්ධනය කර ගැනීම සඳහා තව කොතරම් අහිංසක ජීවිත වන්දි ගෙවීමට සිදුවනු ඇති ද ?

Share This