
මීටියාගොඩ ඝාතනය පාතාල කල්ලි අතර පළිගැනීමක් බවට සැක
අම්බලන්ගොඩ, මීටියාගොඩ ඉරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක් තුළදී ඊයේ රාත්‍රියේ කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක ප්‍රතිඵලයක් දැයි සැක මතු වී තිබෙනවා.
පිස්තෝල වර්ගයේ අවියක් භාවිත කරමින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර, ඉකුත් 04 වැනිදා අම්බලන්ගොඩ නගරයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පලිගැනීමක් ලෙස එය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අම්බලන්ගොඩ මීටියාගොඩ, ඉරලගහවෙල ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
එලෙස ඝාතනයට ලක් වූ යේ අදාළ අවන්හලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවයි.
බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අවන්හල ඇගේ සහෝදරියට අයත් එකක් බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය කාන්තාව ඉකුත් මැයි මස 05 වැනිදා වෙඩි තබා ඝාතනය කළ මහදුර නලින් නමැත්තාගේ සහෝදරියක වනවා.
“මහදුර නලින්” නමැත්තා ඝාතනය “කරන්දෙණිය සුද්දා” නමැත්තාගේ මෙහෙයවීම මත සිදුකළ බවට එවකට වාර්තා වුණා.
එම ඝාතනයට පලිගැනීමක් ලෙස ඉකුත් 04 වැනිදා අම්බලන්ගොඩ නගරසභාව ඉදිරිපිට දී කරන්දෙණිය සුද්දා නමැත්තාගේ මස්සිනා වෙඩිතබා ඝාතනය කිරීමට කටයුතු කළා.
අදාළ ඝාතනය මැයි මස 05 වැනිදා ඝාතනයට ලක් වූ මහදුර නලින් නමැත්තාගේ පුත්‍රයා විසින් මෙහෙයවා ඇති බවට පසුව වාර්තා වුණා.
අදාළ ඝාතනයෙන් පසුව මහදුර නලින් නමැත්තාගේ පුත්‍රයා හා ඉකුත් 04 වැනිදා ඝාතනයට ලක් වූ අම්බලන්ගොඩ මෝදර දේවාල සමිතියේ සභාපතිවරයාගේ පුත්‍රයා අතර දුරකථන සංවාදයක් ද මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.
ඒ අනුව ඉකුත් 04 වැනිදා සිදු කළ තම පියාගේ ඝාතනයට පලිගැනීමක් ලෙස මෝදර දේවල කමිටුවේ සභාපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊයේ (17) ඝාතනය මෙහෙයවන්නට ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව මෝදර දේවාලකමිටුවේ සභාපතිවරයාගේ මස්සිනා වූ “කරන්දෙණිය සුද්දා” අදාළ ඝාතනය මෙහෙයවන්නට ඇති බවට සැක මතුව තිබෙනවා.
අදාළ ඝාතනයෙන් පසුව ඊයේ රාත්‍රියේ මීටියාගොඩ හා අවට ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කළ අත්ර, අද උදෑසන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණා.
මේ අතර, අදාළ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බව කියන යතුරුපැදිය බද්දේගම ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගත්තා.
