මෙරට ඉඳිකිරීමට සැරසෙන ගල් අඟුරු ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණාගාරය

මෙරට ඉඳිකිරීමට සැරසෙන ගල් අඟුරු ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණාගාරය

තාප විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන ප්‍රභවය ලෙස යොදා ගන්නා ගල් අඟුරුවල ගුණාත්මක බව සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පරීක්ෂණාගාරයක් මෙරටදී ප්‍රථම වරට ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා.

එය කාර්මික තාක්ෂණ ආයතනය තුළ ස්ථාපනය කිරීමට නියමිත අතර විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ආනයනික ස්වාභාවික අමුද්‍රව්‍යක් වන මෙම ගල් අඟුරුවල ගුණාත්මක බව සහ ප්‍රමිතිය තාප විදුලිය උත්පාදනයේ දී ඉතාම වැදගත් සාධකයක් වන අතර එම ගුණාත්මක බව මත තාප විදුලිය උත්පාදනයේ කාර්යක්ෂමතාව රඳා පවතිනවා.

එමෙන්ම විදුලි උත්පාදනය වෙනුවෙන් ගල් අඟුරු දහනය ආශ්‍රිතව පරිසරයට ඇතිකරන බලපෑම ප්‍රමුඛත්වයේ ලා සැලකිය යුතු ඉතා වැදගත් සාධකයක් වන බැවින් නිසි ප්‍රමිතියක් නැති ගුණාත්මක බවින් අඩු ගල් අඟුරු දහනය හරහා පරිසරයට එකතුවන වායූන් පරිසරයට අහිතකර බලපෑම් ඇතිකරනු ලබන බවයි විශේෂඥයින් පෙන්වාදී ඇත්තේ.

මෙරටට ගල් අඟුරු ආනයනයේදී අදාළ පරීක්ෂා කිරීම් සිදු කිරීමට පහසුකම් සහිත ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරයක් ශ්‍රී ලංකාව සතුව නොමැති අතර එම කාර්යය සිදු කර ගැනීම සඳහා රටේ මුදල් වැය කරමින් විදේශ රටවල පහසුකම් සහිත ප්‍රතීතනය වූ පරීක්ෂණාගාරවල සේවය ලබා ගැනීමට කිරීමට සිදුවනවා.

එම විදේශීය පරීක්ෂණ වාර්තා මත පදනම්ව ගල් අඟුරු මිල දී ගැනීම මෙතෙක් සිදුකරන ක්‍රමවේදයයි.

එබැවින් ජාතික වශයෙන් වැදගත්වන ප්‍රතීතනය වූ පහසුකම් වලින් සමන්විත මෙවැනි පරීක්ෂණාගරයක් මෙරට ස්ථාපනය කිරීම තුළින් වඩාත් විශ්වසනීය ලෙස ප්‍රමිතිගත ගල් අඟුරු ආනයනයටත්, විදේශයන්හි සේවාවන් ලබා ගැනීමට වැය වන මුදල් රට තුළ රඳවා ගැනීමටත් හැකියාව ලැබෙන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සහයෝගය රජය මගින් ලබා දෙන බවත් අමාත්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කාර්මික තාක්ෂණ ආයතනය වෙනත් විද්‍යාත්මක පරීක්ෂණ සිදුකිරීම වෙනුවෙන් ප්‍රතීතනය ලබා ඇති විද්‍යාගාර සතු පර්යේෂණ ආතනයක් වන අතර ගල් අඟුරුවල ප්‍රමිතිය තීරණය කිරීමේ පරාමිතීන් සඳහා ඉතා පහසුවෙන් ළගා වීමට එම ආයතනයට හැකියාව පවතින බව සඳහන්.

ඒ සඳහා ශක්‍යතාව ඇති පළපුරුදු පර්යේෂකයින්, විශ්ලේෂණ විද්‍යාඥයින් සහිත එම ආයතනය තුළ මෙම නව ර්යේෂණාගාරය නුදුරු අනාගතයේ දී නිර්මාණය වනු ඇති.

මෙය අන්තර් අමාත්‍යාංශයීය සහ ආයතනික සම්බන්ධතාව තුළින් රටේ අවශ්‍යතාවලට සාමූහික පිළියම් යෙදීමේ වැදගත් පියවරක් වනවා.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි මහතා ප්‍රමුඛ අමාත්‍යාංශට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This