යළිත් රට වහන්න වෙයිද ?

යළිත් රට වහන්න වෙයිද ?

ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත් පවතින තත්ත්වය යටතේ රට වසා දැමීමේ කිසිදු  අවශ්‍යතාවක් නැතැයි  රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මේ අතර කොවිඩ්  තෙවැනි මාත්‍රාව ලබා නොගතහොත් ඉදිරියේදී මරණ වැඩිවීමට ඉඩ ඇතැයිද ඔහු පවසනවා.

සුනාමියක් ආකාරයට වේගයෙන් පැතිර ගොස් එකපාරටම නතර වීම ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරස ප්‍රභේදයේ මූලික  ලක්ෂණය බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඔමික්‍රෝන් මෙරටේද වැඩිකල් නොපවතිනු ඇතැයිද සඳහන් කරනවා.

ලෝකයේ බොහෝ රටවලද ඔමික්‍රෝන් පැතිර ගියේ ඒ ආකාරයට බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කරනවා.

එන්නත්කරණය  සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් රෝග ලක්ෂණ නොමැති  ආසාදිතයන් සිය නිවෙස්වලම නිරෝධායනයට ලක්විය හැකි බවත් හැකි ඉක්මනින්ම රෝහල්ගත විය යුත්තේ ඔක්සිජන් හිඟතාවයෙන් පෙළෙන, සංකූලතා ඇති, වයස වැඩි , එන්නත නොගත් පුද්ගලයන් පමණක් බවත්  අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරනවා.

කොවිඩ්  තෙවැනි  මාත්‍රාව ලබා ගැනීමට  ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු බව පැවසූ ඔහු ගෙන් ගෙට හෝ ගොස් එන්නත ලබා දීම ඉතා වැදගත් බවද  ප්‍රකාශ කරනවා

තෙවෙනි මාත්‍රාව ලබා ගත් අයට ඔමික්‍රෝන් ඇති කරන්නේ සෙම්ප්‍රතික්ෂාව වැනි තත්ත්වයක් පමණක් බවයි ඔහු පවසන්නේ.

පවතින තත්ත්වය යටතේ පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම එන්නත්  ලබා නොගත් පාසල් කෙරෙහි සෞඛ්‍ය අංශ  වැඩි අවධානය යොමු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරනවා.

රටේ උත්සව, කානිවල්,  සංගීත ප්‍රසංග  සෞඛ්‍ය මාර්ගෝපදේශ  අනුව පැවැත්වීම වරදක් නැති බවත් පවතින ආර්ථික තත්ත්ව යටතේ රට වසා දැමීමට  හැකියාවක් නැති බවද සඳහන් කරනවා.

” අද මේ සියලුම එන්නත් නිකන් දෙන නිසානේ ප්‍රශ්නේ. මේවා සල්ලිවලට දුන්නා නම්  මිනිස්සු  පොරකකා ගනීවි. මේ රටේ හැමදාම  වෙන්නේ ඒ විදියටයි. එන්නත්  ටික නොමිලේ දෙන එක කොච්චර නම් වැදගත් දෙයක්ද. අපි ඒකෙන් උපරිම  ප්‍රයෝජනය ගන්න ඕන.” යැයිද ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

Share This