යුක්රේන රුසියා අර්බුදය මැද ඉන්දියාවේ භූමිකාව
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මේ මොහොතේ ලොව දැවැන්තම ප්‍රශ්නය බවට විවාදයක් නොමැත. මෙම ගැටුම ලෝකය දෙපිළකට බෙදා ඇති අතර බටහිර රටවල් පැහැදිළිව රුසියාවට එරෙහිව යද්දී චීනය වැනි රටවල් එළිපිට නොවුණත් රුසියාව සමග එකට සිටගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය කුමක්විය යුතුදැයි යන්න පිළිබදව බොහෝ වාදවිවාද හටගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ශ්‍රී ලංකාවේ අසල්වැසියා මෙන්ම දකුණු ආසියාවේ බලවතා ද වන ඉන්දියාවේ භූමිකාව පිළිබද අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.
රුසියාවේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී වහාම මහා මණ්ඩල රැස්වීමක් කැදවා කරැණු සාකච්ඡා කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් වූ අතර එහිදී ඉන්දියාවේ ස්ථාවරය වූයේ ඡන්දය දීමෙන් වැළකී සිටීමයි. ඉන්දියාවේ එම ක්‍රියාව පිළිබද ඇතැම් බටහිර විචාරකයන් දෝෂාරෝපණය කර තිබුණත් ඉන්දියාව එහිදී යෝජනාවට පක්ෂ වූවා කියා අලුතින් සිදුවිය හැකි දෙයක් තිබුණේ නැත. මන්දයත් රුසියාව නිෂේධ බලය යොදාඑම යෝජනාව පරාජය කිරීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බැවිනි.
මෙම පසුබිම තුළ නොබැදි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක රටක් ලෙස ඉන්දියාව ආරක්ෂක මණ්ඩල රැස්වීම තුළ එවැනි නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද එහිදී යුද්ධය අනුමත කිරීමක් සිදවූයේ ද නැත. එහිදී ඉන්දියාව ක්‍රියාත්මක වූයේ යුද ගිනි නිවීමට දෙපාර්ශවයම සමග සාකච්ඡා පවත්වන අතරතුර යුක්රේනය ඇතුළු නැගෙනහිර යුරෝපයේ සිරවී සිටින ඉන්දියානුවන් බේරා ගැනීමට මුල් තැනක් දෙමිනි.
ඒ අනුව ඉන්දියානු සාගර කලාපයේ බලවතා ලෙසින් ලෝක සාමය පවත්වා ගැනීම හරහා ලෝක දේශපාලනයේ ස්ථාවරතාවය පවත්වා ගැනීම සදහා ඍජු ලෙසම ඉන්දියාව අවශ්‍ය මොහොතේදී සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත් විය.එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් හා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සොලොන්ස්කි සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෙන් වෙන්ව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් ඍජුවම දෙපාර්ශ්වයේම රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා පැවැත්වූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට පත් වෙමිනි.
ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ , අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති දුරකතන සංවාදයේ දී වහාම සටන් විරාමයක් සහ සංවාදයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටි බවයි. “රුසියාව සහ නේටෝ සංවිධානය අතර ඇති මතභේද විසඳිය හැක්කේ ද අවංක සංවාදයකින් පමණක් බව අගමැති මෝදි මෙම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින්ට අවධාරණය කර තිබිණ.
මෙම සංවාදයට පෙර ඉන්දීය හා රුසියානු විදේශ අමාත්‍යවරුන් දෙපල අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පැවති අතර එහිදී ද පවතින අර්බුධය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණ.
දෙරටේ රාජ්‍ය නායකයින් අතර මෙම සාකච්ඡා ඇති වීමට පෙර ඉන්දියාවේ යුක්රේන තානාපති ඉගෝර් පොලිකා ඉන්දීය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමින් සිදුවන ලේ වැගිරීම නැවැත්වීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීම වැදගත් බව සදහන් කර තිබිණ.එහිදී ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අගමැති මෝදිට මේ සම්බන්ධයෙන් සෘජුව රුසියානු නායකයා ඇමතීමට හැකි බවයි.
මේ අතරවාරයේ සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය මැනවින් ප්‍රදර්ශනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සොලොන්ස්කි සමඟ ද දුරකථන සංවාදයක පවත්වා තිබිණ. මෙහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදිට විස්තරාත්මකව කරුණු දක්වා තිබූ අතර පවතින ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබිණ. ප්‍රචණ්ඩත්වය වහා නැවැත්වීම සහ සංවාදයට නැවත පැමිණීම සඳහා වූ සිය ඉල්ලීම ඔහු යළිත් මෙහිදී අවධාරණය කළ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සදහන් විය.
මේ අන්දමට සාමය සදහා ඉන්දියාවේ මැදිහත්වීම උපරිමයෙන් දක්වන අතරේ යුක්රේනයේ භූගත බංකරවල සිරවී සිටින දහස් සංඛ්‍යාත ඉන්දීය සිසුන්ගේ සහ වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමටත් ඉන්දියාව කටයුතු කරමින් සිටින්නේ මෙවැනි අවස්ථාවක කටයුතු කළ යුතු අන්දම පිළිබද ලෝකයටම ආදර්ශයක් වෙමිනි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරිදා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ අනෙකුත් ප්‍රධාන නිලධාරීන් හමුවී යුද්ධයෙන් විනාශ වූ යුක්‍රේනයේ සිටින සියලුම ඉන්දීය ජාතිකයින් ආපසු ගෙන්වා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීය. යුක්රේනයෙන් ඉන්දීය ජාතිකයන් ඉවත් කර ගැනීමට හැකි සියලු උත්සාහයන් දැරිය යුතු බව ඉන්දීය අගමැතිවරයා මෙහිදී පවසා තිබිණ.
මෙහිදී ඉන්දියාවේ මූලික උත්සහය වී ඇත්තේ යුක්රේනයේ සිරවී සිටින හාර දහසක් පමණ වන ඉන්දියානුවන්, විශේෂයෙන් සිසුන් බේරා ගැනීමයි. යුක්රේනය සිය ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ඉන්දියාව අතරමංව සිටින සිය පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ‘ගංගා’ නමින් මෙහෙයුමක් දියත් කර ඇති අතර එහි කොටසක් ලෙස බුඩාපෙස්ට් (හංගේරියාව) සහ බුකාරෙස්ට් (රුමේනියාව) වෙත විශේෂ එයාර් ඉන්දියා ගුවන් යානා යොදවමින් යුක්රේනයේ සිටින අය ඒ වෙත ගෙන්වාගෙන යළි සිය රට ගෙන ඒමට කටයුතු කරමින් සිටියි.
විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මෙම මෙහෙයුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඒ පිළිබද සහ යුක්රේනයේ වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට කරැණු ඉදිරිපත් කරමින් මෙම කටයුතු මෙහෙයවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යංශයට අනුව, ඉරිදා ගුවන් යානා දෙකකින් ඉන්දියානු ජාතිකයන් 249 සහ 240 ආපසු ගෙන එන ලද අතර සෙනසුරාදා ද පුද්ගලයින් 219 දෙනෙකු එසේ රැගෙන විත් ඇත.
මේ වන විට ඉන්දියානු ජාතිකයන් 2,000 ක් පමණ යුක්රේනයෙන් ඉවත් කර ඇති අතර තවත් 2000 ක පමණ ඉන්දියානුවන් පිරිසක් යුක්රේනය තුළ සිටින බව පැවස්. කෙසේවෙතත්, ඔවුන්ව පෝලන්ත දේශසීමාව හරහා පිටකිරීමේ ගැටළු පවතින බවත් ඒ අනුව විකල්ප විධිවිධාන සකසමින් පවතින බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසයි.
යුක්රේනයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු, බොහෝ ඉන්දියානු පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් තාවකාලික නවාතැන් ලබා දී ඇති අතර, සිරවී සිටින අය සහ ඔවුන්ගේ ඥාතීන් සඳහා රජය උපකාරක දුරකථන කිහිපයක් ද ආරම්භ කර ඇත.
මේ අනුව පෙනී යන්නේ ඉන්දියාව වත්මන් රුසියානු යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රවේශයන් අතිශය අගය කළ යුතු මට්ටමක පවතින බවයි. සාමයට එළෙඹෙන ලෙස ප්‍රධාන පාර්ශ්ව දෙකෙන්ම ඉල්ලා සිටින අතරේ සිරවී සිටින ඉන්දියානුවන් බේරා ගැනීමට ප්‍රමුඛත්වයදෙන මෙම ප්‍රවේශය සැළකිය හැක්කේ වත්මන් ලෝක භූදේශපාලනය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට නිවැරදි දැක්මක් සපයන පරිණත සහ වගකීම් සහගත හැසිරීමක් ලෙසිනි