
ලුණු මිල ගැන කියන කතා බොරු – වැඩි මිලට විකුණන්න බෑ
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුණ සාකච්ඡාවකදී ලුණු සදහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරනවා.
එම අධිකාරිය නිවේදනයක් කරමින් පවසන්නේ එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර නොපැවති බවයි.
උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබද සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැදවා සාකච්ඡා කර තිබෙනවා.
එම සාකච්ඡාවේදී මතු වූ කරුණු ද සැලකිල්ලට ගනිමින් නියම කල යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබද සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් එම මිල ග ණන් අධිකාරිය වෙත දැනුම් දීමට සභාව විසින් කටයුතු කරනු ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පෙන්වා දෙන්නේ.
අධිකාරිය පවසන්නේ ඒ අනුව එම මිල ගණන් ගැසට්පත්‍රයක් මගින් ප්‍රකාශකිරීමට අධිකාරිය කටයුතු කරන අතර මාධ්‍ය වෙත ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමග එකග වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය බවයි.
එමෙන්ම, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම උපරිම සිල්ලර මිලක් සදහන් නොවන ලුණු අසුරන වෙළදපොලට නිකුත්කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත්, එවැනි නිෂ්පාදන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කරනවා.
එම නිසා එවැනි නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙසත් සියලුම වෙළෙද මහතුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය දැනුම් දෙනවා.
අධිකාරිය පවසන්නේ තවද , තමන්ට භාණ්ඩ සැපයු ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසද සියළුම ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ලග තබා ගන්නේ නම් ඒ සම්බන්ධවද නීතිමය පියවර ගන්නා බවයි.