ලොව හොඳම සංචාරක ගම්මානය ඉන්දියාවේ ඩෝර්ඩෝ

ලොව හොඳම සංචාරක ගම්මානය ඉන්දියාවේ ඩෝර්ඩෝ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච් දිස්ත්‍රික්කයේ පිහිටි ඩෝර්ඩෝ ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර තිබෙනවා.

ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසිනුයි .

තිරසාර සංචාරක ව්‍යාපාරය, සංස්කෘතික සංරක්ෂණය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් එම ගම්මානය හොඳම සංචාරක ගම්මානය ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ඩෝර්ඩෝ යනු මහා කච් දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක පිහිටා ඇති නිහඬ පරිසරයකින් සමන්විත සාමකාමී ගම්මානයක්.

එහි පැවැත්වෙන ‘රන් උත්සවය’ (Rann Utsav) නමැති වාර්ෂික උත්සවයක් හේතුවෙන් එම ගම්මානය ගෝලීය වශයෙන් පිළිගැනීමට සහ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

එය එම ගම්මානයටම ආවේණික විචිත්‍රවත් සංස්කෘතික උත්සවයක්.

සාම්ප්‍රදායික කලාව, සංගීතය සහ අත්කම් ප්‍රදර්ශනය සඳහා රන් උත්සවය ඩෝර්ඩෝ ගම්මානයේ ජනතාවට විශිෂ්ට වේදිකාවක් නිර්මාණය කර ඇතැයි සඳහන්.

එම උත්සවය පැවැත්වෙන කාලසීමාවේදී ඩෝර්ඩෝ ගම්මානයට පැමිණෙන සංචාරකයින්ට දේශීය සංස්කෘතික සම්බන්ධයෙන් හිමිවන්නේ අමතක නොවන සුන්දර අත්දැකීමක්.

“හොඳම සංචාරක ගම්මානය” ලෙස ඉන්දියාවේ ඩෝර්ඩෝ ගම්මානය නම් කිරීම තුළින් කලාපයේ ආර්ථිකයට විශාල ශක්තියක් මෙන්ම තල්ලුවක් ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩෝර්ඩෝහි වාර්ෂිකව පවත්වනු ලබන රන් උත්සවය හේතුවෙන් මේවනවිටත් කලාපයේ ආර්ථිකය සැළකිය යුතු ලෙස ශක්තිමත් වී ඇතැයි ද සඳහන්.

 

Share This