විදුලි අර්බුදය කළමනාකරණයට පියවර -සති දෙකකින් ඉන්දියාවෙන් ඉන්ධන මෙරටට

විදුලි අර්බුදය කළමනාකරණයට පියවර -සති දෙකකින් ඉන්දියාවෙන් ඉන්ධන මෙරටට

බරපතල  ඉන්ධන අර්බුදයකට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවිතෙල් ප්‍රමාණය විදුලිබල මණඩලයට නිකුත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කර තිබෙනවා.

සංස්ථාවද බරපතල ඩොලර් අර්බුදයකට ලක්ව තිබෙන නමුත් විදුලිය අර්බුදය කළමනාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබාදෙන බව ඇමැතිවරයා මෙහිදී පවසා තිබෙනවා.

මේ අතර එම සති දෙකෙන් පසුව මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ගෙන්වා දීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ණය මුදලින් එම ඉන්ධන ගෙන්වා ගන්නා  බවද ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එහිදී පවසා තිබෙනවා.

මේ අතර මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලිය කප්පාදුවක් නොකර පවත්වාගෙන යා හැකි බව විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් එහිදී ප්‍රකාශ කළ බවද සඳහන් වනවා.

ඩොලර් නොමැතිවීම හේතුවෙන් මුහුදේ නැංගුරම්ලා ඇති ඩීසල් හා පෙට්‍රල් නැවි දෙක කඩිනමින් නිදහස් කරදීමේ වගකීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම සාකච්ඡාවේදී බාරගෙන ඇති අතර මෙවැනි තත්ත්වයක් තිබේ නම් එය කල්වේලා ඇතිව තමාට  දැනුම්දෙන්නැයි මහ බැංකු අධිපතිවරයා ඛනිජ තෙල් සංස්ථාවෙන් එහිදී ඉල්ලා තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක් ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබුණා

 

Share This