විදුලිබල පනතට එරෙහිව පෙත්සම් 7ක් – පෙත්සම් විභාගයට දින දෙයි

විදුලිබල පනතට එරෙහිව පෙත්සම් 7ක් – පෙත්සම් විභාගයට දින දෙයි

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු සංවිධාන 7ක් ගොනු කර තිබූ පෙත්සම් ලබන 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියම කළා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.

ලංකා විදුලි ඉංජිනේරු සංගමය, හරිත සංවිධානය, දේශහිතෛෂී ජාතික පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සංගම් හතක් ගොනු කර ඇති පෙත්සම්වල වග්උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත නමින් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති බවත් මෙම පනත් කෙටුම්පතේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කරන අතර ජල විදුලිය සම්බන්ධයෙන් එහි පැහැදිලි සඳහනක් නොමැති බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විධානයක් එහි නොමැති බවද සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළින් සමස්ත මහජනතාවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේත් මූලික අයිතිවාසියක් කඩවන බව සඳහන් කරන පෙත්සමකරුවෝ එබැවින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික වගන්තිනවලට පටහැනි බව සඳහන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන ලෙසද මෙම පනක් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයගේ සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියි.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥවරුන් වන සේනානි ධර්මරත්න, ශාන්ත ජයවර්ධන මහත්වරු සමග ජනාධිපති නීතිඥ උදිත ඉගලෙහේවා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියා.

Share This