ශ්‍රී ලංකා රජයේ මූල්‍ය කලමනාකරණය ධනාත්මක නිසා මූල්‍ය අරමුදල සිව්වැනි කාර්තු ණය මුදල ලබාදුන් බව  IMF  නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ  පවසයි

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය කලමනාකරණය ධනාත්මක නිසා මූල්‍ය අරමුදල සිව්වැනි කාර්තු ණය මුදල ලබාදුන් බව IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පවසයි

ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ මණ්ඩලය 4 වන සමාලෝචනය සම්පූර්ණ කළ අතර, එමඟින් ශ්‍රී ලංකා බලධාරීන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 315 ක් ලබා දීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා පවසනවා.

ඔහු පැවසුවේ ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු මුදල බිලියන එකහමාරක් පමණ වන බවයි.

මේ අතර විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශයක් නිකුත් ක‍රමින් පැවසුවේ අරමුදල් සහාය ලබන විධිවිධානය යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත් බවයි.

ඇතැම් ක්‍රියාත්මක කිරීමේ අවදානම් සම්භන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද ඒ මහතා සදහන් කළා.

ප්‍රතිසංස්කරණ ඵල දරමින් සිටින බවත්, ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය අඩු මට්ටමක පැවතීම, සංචිත සමුච්චයවීම සහ මූල්‍ය ආදායම් වැඩිදියුණු වීම සිදුවන බවට කෙන්ජි ඔකමුරා මහතා සහතික වනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ආසන්නව ඇති බවත්, ආර්ථික දැක්ම ධනාත්මක නමුත් අවාසි අවදානම් වැඩි වී ඇති බවත් ඔකමුරා මහතා පෙන්වා දෙනවා.

අරමුදල තව දුරටත් උපදෙස් දෙමින් පවසන්නේ බදු නිදහස් කිරීමේ රාමු ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ හිඟ මුදල් කළමනාකරණය ඵලදායී ලෙස සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම වැදගත් බවයි.

අවදානමට ලක්විය හැකි අයට සමාජ සහයෝගය ආවරණය කිරීම සහ ඉලක්ක කිරීම තවදුරටත් අවශ්‍ය බව ඔකමුරා මහතා අවධාරණය කළා.

මූල්‍ය ආවරණය තුළ ප්‍රාග්ධන වියදම් සුමටව ක්‍රියාත්මක කිරීම මධ්‍ය කාලීන වර්ධනයට උපකාරී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවා.

විදුලි ගාස්තු ගැලපුම් ක්‍රියාත්මක කිරීම ප්‍රශංසනීය බවද මූල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා එය පවත්වා ගත යුතු බව ද ඔහුගේ අදහසයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දුන් තොරතුරු වල සාවද්‍ය කරුණු ඇතුලත්වීම අහම්බෙන් සිදුව තිබූ අතර රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තා කිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ “හිඟ මුදල්” යන්නෙහි අර්ථ දැක්වීම පිළිබඳව බලධාරීන් වැරදි වැටහීමකින් කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබූ බව මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නා.

කෙසේ නමුත් මෙම අරමුදල ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට අදහස් කරන බව ද සදහන් කළා.

Share This