
ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ !ජනපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවේදි පවසයි
තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බවත්, මීට වසරකට පෙර වත්මන් රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වීමට සූදානම් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් කලා විද්‍යාල මධ්‍යස්ථානයේ එරට වේලාවෙන් ඊයේ (25) පස්වරුවේ පැවති හමුවට එක් වෙමින්.
එහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා රටේ ආර්ථික ස්ථාවරත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ වංචා දූෂණ අවසන් කිරීම පිළිබද අදහස් පළ කළා.
ජනාධිපතිවරයා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම සහ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී වසරක් වැනි කෙටි කාලයක් තුළ තීරණාත්මක හැරවුමක් වත්මන් රජය සනිටුහන් කර ඇති බවයි.
සියලු ක්ෂේත්රයන්හි ලැබූ මෙම ජයග්‍රහණ ඉදිරියටම ගෙන යනවා මිස කිසිසේත් ආපසු නොහරවන බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා.
එමෙන්ම, රට හමුවේ ඇති ඊළග අභියෝගය වන්නේ ලබා ගත් එම ආර්ථික ජයග්‍රහණ රටේ සාමාන්‍ය පොදු ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම බවත්, එළැඹෙන වසරේ අයවැය ලේඛනය සකස් කරනු ලබන්නේ එම අරමුණ ඇතිව බවත් ජනාධිපතිවරයා පැවසුවා.
නිව්යෝර්ක් නුවර පිහිටී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
ඔවුන් විසින් මතු කළ අදහස් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඔවුන් ඇගයීමට ලක් කර තිබෙනවා.