
ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ඇලෝ බ්ලැක්
සංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
අද (10) පෙරවරුවේ ඔහු මෙරටට පැමිණ ඇති අතර විද්යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංවර්ධන ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී උණුසුම් අන්දමින් ඇලෝ බ්ලැක් මහතා පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
දිවයිනට පැමිණි ඇලෝ බ්ලැක් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ආයිජන සඳහා ආකර්ශණීය ස්ථානයක් බවට ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව බවත්, ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවත්ය.
දැනට පවතින හා නව සමාගම් යන කොටස් දෙකම ඇතුළුව ශ්‍රී ලංකාව තුළ සිදුවන විවිධ ආයෝජන සහ සංවර්ධනය වෙමින් පවතින නව සංකල්පය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් වන බව ඇලෝ බ්ලැක් මහතා පවසනවා.
එමෙන්ම එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමග තමන්ට ඉතාමත් සමීප සම්බන්ධතා පවතින අතර ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරීමට තමන් අදහස් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ඔහු දේශීය ව්‍යවසායකයින්, කලාකරුවන් හමුවෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගීතාවයන් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරෙනු ඇති.