ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට යෝජනා වෙයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට යෝජනා වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කිරීමට යෝජනා වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

පසුගිය 15 වනදා පැවති එම විභාගයේ අදාළ ප්‍රශ්න තුනට ආසන්න සමානතාවයකින් යුත් ප්‍රශ්න තුනක් සහිත ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විභාගයට පෙර දින යම් යම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව සඳහන්.

එලෙස සාකච්ඡා වූ බව සැලකෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග ප්‍රශ්න පත්‍රය සකස් කරන ලද පරීක්ෂක මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක් විභාග දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ සාකච්ඡාවට ලක්වූ බව කියන ප්‍රශ්න පත්‍රය තුළ පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න කිහිපයක් සහ මෙවර පැවති විභාගයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක්ද ඇතුළත්ව ඇති බවටයි.

ඒ අනුව විභාගයට පෙර මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍රය සීමිත පිරිසක් අතර සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් ඉන් යම් සීමිත පිරිසකට විශේෂ වාසියක් අත්වීම මෙන්ම සෙසු බහුතර සිසු පිරිසකට අගතියක් සිදුවීම වළක්වාලීම සඳහා එසේ සාකච්ඡා වී ඇති ප්‍රශ්න පිළිබඳව සියුම් ලෙස සලකා බැලීමෙන් අනතුරුව පිළිතුරු පත්‍ර ඇගයීමේදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කර ඇගයීම් කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විභාගයට පෙර මෙම ප්‍රශ්න බාහිර පාර්ශ්වයන් වෙත පිට වූවාද යන්න සොයා බැලීම සඳහා දැනටමත් විභාග දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර විමර්ශන කණ්ඩායම් අදාළ ප්‍රදේශ වෙත ගොස් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.

එහිදී යම් අක්‍රමිකතාවක් පිළිබඳව අනාවරණය වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති.

අදාළ සිද්ධිය හේතුවෙන් විභාගයට පෙනී සිටි කිසිඳු අපේක්ෂකයෙක්ට අසාධාරණයක් සිදු නොවන ලෙස කටයුතු කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

Share This