සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව චීන ජනපති කියයි

සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව චීන ජනපති කියයි

බ්‍රසීලයේ  රියෝ ද ජැනයිරෝ අගනුවර පැවැත්වෙන මෙවර 19වැනි ජී-20 රාජ්‍ය නායක සමුළුව වෙත ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ චීන, අමෙරිකානු ඇතුලු ලොව බලවත් රාජ්‍යන් රැසක නායකයින් මෙම සමුලුවට එක්ව සිටීම හේතුවෙන්.

මෙවර සමුළුවේ පළමු අදියරේදී “සාගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම” යන ප්‍රධාන තේමාව යටතේ පැවති සාකච්ඡාවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද එක් වූ අතර, “පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීම” යන මැයෙන් එතුමා එහිදී වැදගත් දේශනයක් ද පැවැත්වුවා.

වත්මන් ලෝකය වෙගවත්ව පරිණාමය වෙමින් පවතින අතර මානව සංවර්ධනය පෙර නොවූ විරූ අවස්ථාවන්ට හා අභියෝගවලට මුහුණ දෙන බවත් ලෝකයේ ප්‍රධාන දැවැන්ත රටවල නායකයන් ලෙස, අප පොදු ඉරණම සහිත ප්‍රජාවක් පිළිබඳ සංකල්පය පවත්වා ගනිමින් ඓතිහාසික වගකීම් දැරිය යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නා.

මෙවර රියෝ ද ජැනයිරෝ නරගයේ පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව “සාධාරණ ලෝකයක් සහ තිරසර ග්‍රහලෝකයක් ගොඩනැගීම” තේමා කර ගනිමින් “සාගින්න සහ දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට ගෝලීය සන්ධානයක්” පිහිටුවීමට තීරණය කර ඇතැයි චීන ජනපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව සියලු දෙනාම එකම අරමුණට කැපවී පොදුවේ සංවර්ධනය වන සාධාරණ ලෝකයක් ගොඩනැගීමට එක් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එවැනි ලෝකයක් ගොඩනැගීම සඳහා, වෙළඳාම, සංවර්ධනය හා සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රවල සම්පත් ආයෝජනය වැඩි කළ යුතු බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර නිෂ්පාදන හා ජීවන ආකාර අනුගමනය කිරීමට සහාය විය යුතු බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය වැනි අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමටත්, ජෛව ශිෂ්ටාචාරයක් ගොඩ නගා ගෙන සහභාගීත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කොට බහුපාර්ශ්වවාදය තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළා.

එමෙන්ම චීනයේ සංවර්ධනය ගෝලීය පොදු සංවර්ධනයේ වැදගත් කොටසක් බවත් චීනයේ මිලියන 800 ක ජනගහනයක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති අතර තිරසර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රයේ දරිද්‍රතාවය අඩු කිරීමේ ඉලක්ක නියමිත කාලයට පෙර සාක්ෂාත් කර ගෙන ඇති බවත් ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නා.

චීනයේ දරිද්‍රතාවය පිටුදැකීමේ අත්දැකීමෙන් පෙන්නුම් කෙරෙන්නේ නොපසුබට ප්‍රයත්න සහ වෙහෙස මහන්සි වී කටයුතු කිරීම මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ඇති දරිද්‍රතාවේ ප්‍රශ්නය විසඳා ගත හැකි යැයි ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

සෑම විටම ගෝලීය දකුණේ සාමාජිකයෙකු සහ සංවර්ධනය වෙමින් පවතින රටවල විශ්වසනීය හා දිගුකාලීන සහයෝගීතා හවුල්කරුවෙකු වන චීනය, නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා මෙහිදී වඩාත් අවධාරණය කළා.

ඒ අනුව ෂී ජින් පිං මහතා එහිදී චීනය ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ පියවර 8ක් ප්‍රකාශයට පත් කළ අතර, චීනය ඉදිරිපත් කළ“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සෙසු රටවල් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සහ, සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාව තුරන් කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජගත් සහයෝගීතාව සඳහා චීනය අඛණ්ඩව සහාය ලබා දීම ඇතුළු කරුණු ඊට ඇතුළත් වන බව සඳහන්.

Share This