සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ -ජනපති

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ -ජනපති

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමුව තිබෙනවා.

පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බව එහිදී සඳහන්ව ඇති බව සඳහන්.

අනතුරුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බව පෙන්වාදී ඇති ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ලබා ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් ලබා දීමටත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ යාම කෙරෙහි එහිදී අවධානය යොමුව ඇති අතර දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීම තුළින් මෙම මිල අස්ථාවරභාවය මතුව ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

අතරමැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ අතර එම පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This