ස්වර්ණවාහිනී 27 වන අභිමානවත් සැමරුම (VIDEO)

ස්වර්ණවාහිනී 27 වන අභිමානවත් සැමරුම (VIDEO)

මෙරට ටෙලිවිෂන් වංශකතාවේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඇරඹුණු ශ්‍රී ලාංකේය අභිමානය රැගත් ස්වර්ණවාහිනීය අද සිය 27 වන සංවත්සරය සමරනු ලබනවා.

1997 මාර්තු මස 16 වන දින ඇරඹි ස්වර්ණවාහිනීය ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා එදා සිට අද දක්වාම දේශීයත්වයට ගරු කරමින් ගෙන ආ වැඩසටහන්, ප්‍රේක්ෂක මනසේ ස්වර්ණමය සිත්තම් මවන්නට සමත් වුණා.

Lyca සමූහය යටතේ ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවේ එදා සිට අද දක්වා පැමිණි ගමන් මඟට වත්මන් සභාපති අලිරාජා සුභාස්කරන් මහතාගෙන් වර්තමානයේ දී හිමිවන්නේ දැවැන්ත ශක්තියක්.

ස්වර්ණවාහිනීය තුළින් කළඑළි දුටු විචිත්‍රාංග වැඩසටහන් අදටත් ප්‍රේක්ෂක මනසේ ලැඟුම්ගෙන ඇති බව නොරහසක්.

යහපත් මාධ්‍ය කලාවක පෙරගමන්කරුවෙකු වෙමින් ප්‍රේක්ෂක රසවින්දනයේ විවිධ මානයන් සොයා යමින් , ප්‍රේක්ෂක හදවත ස්පර්ශ කළාවූ වැඩසටහන් අවස්ථා රැසකදී සම්මානයන්ට ද පාත්‍ර වුණා.

ඒ අනුව මෙරට රූපවාහිනී කලාවේ විවිධ වූ වැඩසටහන් නිර්මාණය කරමින්, නිර්මාණකරණයේ ප්‍රමුඛයා බවට පත්වූ ස්වර්ණවාහිනීය ප්‍රේක්ෂක ජනාදරයට පත්වූයේ ඉතා කෙටි කාලයක් තුළදීයි.

මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති කලාවට නව්‍යකරණයේ වෙනසක් ඇති කරමින් හඳුන්වාදුන් Live at 8 ප්‍රවෘත්ති සන්නාමය, දිනපතා පත්තර පිටු රූපවාහිනීයේ පෙරළන ස්වර්ණවාහිනී මුල් පිටුව, දේශපාලන ක්ෂේත්‍රයේ කාලීන තත්ත්වයන් සාකච්ඡා කෙරෙන ඉර හරි කෙළින්, රතු ඉර නම් දේශපාලන සංවාද රුපවාහිනී ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත් වුණා.

මීට අමතරව විවිධ කාලීන මාතෘකා ඔස්සේ ගෙනඑන සාකච්ඡාමය වැඩසටහන්, තාරුණ්‍යය වෙත නැවුම් වූ වැඩසටහන් තිළිණ කරන ස්වර්ණවාහිනීය, ටෙලිනාට්‍ය කලාව තුළද ප්‍රේක්ෂක හදබැද ගත් ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා දිගහැරෙන්නේ ටෙලිවිෂන් ආකෘතිය සඳහා නවතම මුහුණුවරක් එක් කරමින්.

27 වසරක් ගතවන එදාමෙදා තුර බහුවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂක මනස ස්පර්ශ කළ, ශ්‍රී ලාංකේය අභිමානය සමඟින්, රූපවාහිනී කලාවේ විප්ලවීය වූ වෙනසක් ඇති කළ ස්වර්ණවාහිනීය මෙරට රූපවාහිනී කලාවේ රන් සලකුණ බවට තවදුරටත් පත් කිරීමට උරදුන් ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්වර්ණවාහිනී නාලිකාවේ ආචාරය.

 

 

Share This